පොලිස්පතිවරයා පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.
අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් 17661/2026 දරන නඩු අංකය යටතේ අද (අගෝස්තු 06) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළ අතර, එහිදී සිදුකළ ඉල්ලීම් කිහිපයකට අධිකරණයේ අවසරය හිමිවී ඇත. ඒ අනුව, මෙම සිදුවීමට අදාළ වැඩිදුර විමර්ශන වාර්තාවක් සැප්තැම්බර් මස 24 වන දින ඉදිරිපත් කරන ලෙසට අධිකරණය නියෝග කර තිබේ.
මීට අමතරව, සාගර කාරියවසම් මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් පොලිස්පතිවරයා සම්බන්ධව සිදු කළ තර්ජනාත්මක ප්‍රකාශය ඇතුළත් සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන පොලීසියට ලබා දෙන ලෙසට කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා මාධ්‍ය ආයතන 6කට නියෝග කර ඇත. පරීක්ෂණ පවත්වන මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය කළ ඉල්ලීමක් මත මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර තිබේ.














