බලයට පත්වීමට පෙර ජනතාවට ලබා දුන් දුන් පොරොන්දු සම්පූර්ණයෙන්ම අමතක කර ඇති වත්මන් ආණ්ඩුව මේ වන විට රටේ ගොවි, ධීවර සහ කම්කරු ජනතාවගේ මූලික අයිතිවාසිකම් පවා උදුරා ගනිමින් සිටින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දැඩි ලෙස චෝදනා කරයි.
රට තුළ උද්ගතවී ඇති දැඩි ආර්ථික හා සමාජීය අර්බුද හමුවේ පීඩාවට පත්ව සිටින සාමාන්‍ය ජනතාව වෙනුවෙන් හඬ නඟමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. මැතිවරණ සමයේදී ජනතාවට සහන සහ සුභසාධනය ලබා දෙන බවට පොරොන්දු වූ වත්මන් පාලකයන්, අද වන විට බදු බර පටවමින් සහ ජීවන වියදම ඉහළ නංවමින් ජන ජිවිතය අන්ත අසරණ තත්ත්වයට පත් කර ඇති බව හෙතෙම පෙන්වා දුන්නේය.
විශේෂයෙන්ම මෙරට ආර්ථිකයේ කොඳු නාරටිය වන ගොවි ජනතාවට අවශ්‍ය පොහොර සහ කෘෂිකාර්මික ආධාර නිසි පරිදි නොලැබීමත්, ධීවර ප්‍රජාවට මුහුණ දීමට සිදුව ඇති ඉන්ධන ඇතුළු ගැටලු විසඳීමට ආණ්ඩුව අසමත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහිදී අවධාරණය කළේය. ජනතා මතයෙන් බලයට පැමිණි කිසිදු රජයකට ජනතාවගේ මූලික අවශ්‍යතා නොසලකා හැරීමට නොහැකි බවත්, ආණ්ඩුවේ මෙම ජනතා පීඩකාරී වැඩපිළිවෙළට එරෙහිව ජනතාව සමඟ එක්ව ඉදිරියේදී දැඩි ලෙස පෙනී සිටින බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.














