විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී ආර්ථිකය පිළිබඳ විවාදයට එක්වෙමින් රජය වෙත බරපතළ චෝදනාවක් එල්ල කළේය. ඔහු පෙන්වා දුන්නේ සාමාන්‍ය ජනතාව මත බදු බර පටවමින් රජය දුම්කොළ සමාගම් වෙත බදු සහන ලබා දීමට කටයුතු කර ඇති බවයි.
ප්‍රේමදාස මහතා සඳහන් කළේ වැට් බදු සහ අනෙකුත් බදු වැඩි කිරීම මගින් ජනතාව සහ ව්‍යාපාරික ක්ෂේත්‍රය මත දැඩි බදු බරක් පටවා තිබියදී, දුම්කොළ සමාගම්වලට බදු සහන ලබා දීම කිසිසේත්ම සාධාරණ නොවන බවයි. දුම්කොළ භාවිතය අවම කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් බදු ඉහළ මට්ටමක පවත්වා ගත යුතු බවට නිර්දේශ කර ඇතත්, රජය එම නිර්දේශ නොසලකා හරිමින් බදු අඩු කර තිබේ.
මෙම බදු අඩු කිරීම හේතුවෙන් රජයට ලැබිය යුතු රුපියල් බිලියන 17.3ක ආදායමක් අහිමි වී ඇති බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය. රජය වහාම මෙම තීරණය පිළිබඳව නැවත සලකා බැලිය යුතු බවත්, මෙලෙස අහිමි වන අතිරේක ආදායම ජනතාවට සහන සැලසීමට සහ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කිරීමට යොදවන ලෙසත් ඔහු රජයෙන් ඉල්ලා සිටියේය. මීට අමතරව මෙම ආර්ථික ප්‍රතිපත්ති මගින් ව්‍යාපාර, රැකියා නියුක්තිය, විශ්‍රාමිකයින් සහ සමස්ත ආර්ථිකයට එල්ල වී ඇති බලපෑම පිළිබඳව ද ඔහු සිය කනස්සල්ල පළ කළේය.
















