විපක්ෂයේ සිටියදී විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා ජනමත විචාරණයක් අත්‍යවශ්‍ය බවට තර්ක කළ අනුර කුමාර දිසානායක මහතා, අද ජනාධිපතිවරයා ලෙස 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන මොහොතේ එය ජනමත විචාරණයකට යොමු නොකිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දැඩි දේශපාලන ප්‍රශ්න කිරීමක් සිදු කළේය. රත්තොට ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ, එදා නීතිමය හා ප්‍රජාතන්ත්‍රවාදී පදනම් මත ජනමත විචාරණ ඉල්ලා සිටි පාර්ශ්වයන් අද බලයට පත්වූ පසු දේශපාලන වාසි මත එම ප්‍රතිපත්ති වෙනස් කරමින් සිටින බවයි.
ජනතාවගේ සැබෑ ජීවන අර්බුද සහ අයිතිවාසිකම් විසඳීමට අපොහොසත් වී ඇති වත්මන් පාලනය, මැතිවරණ සමයේ ලබාදුන් ජනප්‍රිය පොරොන්දු හුදෙක් හිස් වචන බවට පත් කර ඇති බව හෙතෙම වැඩිදුරටත් චෝදනා කළේය. වරායෙන් ගොඩබාන මිලට ඉන්ධන ලබාදීම, විදුලි බිල සියයට 32කින් අඩු කිරීම මෙන්ම දිට්වා සුළි කුණාටුවෙන් අවතැන් වූවන්ට සහන සැලැස්වීම වැනි ජනතා හිතවාදී පොරොන්දු තවදුරටත් කඩ වී ඇති පසුබිමක, ආණ්ඩුවේ දෙවසරක සංවත්සර සැමරුම් හුදෙක් පාලකයන්ගේ සුඛවිහරණය තහවුරු කරන්නක් පමණක් වී තිබේ.
රට පුරා ක්‍රියාත්මක වන ජනපති සංචාර හුදෙක් “පච චාරිකා” බවට පත් වී ඇති බවත්, ජනතාවගේ සැබෑ හදගැස්ම මැන බැලීමට අවශ්‍ය නම් වහාම පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසත් ඔහු අභියෝග කළේය. ධීවර ජනතාවගේ දෛනික ජීවන වෘත්තීන්ට පවා බාධා වන අයුරින් බලධාරීන් කටයුතු කිරීම තුළින් පෙන්නුම් කෙරෙන්නේ වත්මන් පාලනයේ කුරිරු සහ ජනතා පීඩක ස්වභාවය වන අතර, ඉදිරි දේශපාලන අරගලය තුළ මෙම ව්‍යවස්ථාමය හා ජනතා ද්‍රෝහී ක්‍රියාමාර්තයන්ට එරෙහිව ජනතාව දැඩි ලෙස පෙළගැසෙනු ඇත.














