ගොවියා රජ කරවන බව පවසමින් බලයට පත් වූ වත්මන් රජය යටතේ මෙරට ගොවි ජනතාව දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි. පොහොර මිල පාලනයකින් තොරව කඩෙන් කඩේට වෙනස් වෙමින් පවතින බවත්, රජය මේ සම්බන්ධයෙන් නිසි මැදිහත් වීමක් සිදු නොකරන බවත් ඔහු චෝදනා කරයි.
මාධ්‍ය හමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා අවධාරණය කළේ, පොහොර සහ කෘෂිකාර්මික යෙදවුම්වල මිල අහස උසට ඉහළ යාම නිසා ගොවීන් පත්ව ඇත්තේ කබලෙන් ලිපට වැටුණු තත්ත්වයකට බවයි. රජය ලබාදුන් පොරොන්දු ඉටු නොකිරීම හේතුවෙන් පාලනාධිකාරියේ සැබෑ ස්වරූපය මේ වන විට ජනතාව හමුවේ හෙළි වී ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.













