රජය විසින් ප්‍රතිපත්ති සකස් කරනු ලබන්නේ වැරදි දත්ත මත පදනම්ව බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. හම්බන්තොට තිස්සමහාරාමයේ පැවැති ගොවි හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.
ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව එක් පුද්ගලයෙකුට දින 30ක් ජීවත්වීම සඳහා රුපියල් 17,315ක් ප්‍රමාණවත් බව සඳහන් වුවද, එම මුදලින් කිසිදු පුද්ගලයෙකුට දින 30ක් ජීවත්විය හැකිද යන්න තමන් ජනතාවගෙන් ප්‍රශ්න කරන බව විපක්ෂ නායකවරයා සඳහන් කළේය. රටේ ජනතාවගෙන් 30%ත් 40%ත් අතර ප්‍රමාණයක් දුප්පත් මට්ටමේ පසුවන බවත්, එම දුප්පත් ජනතාව මුදා ගැනීම සඳහා රජයට පැහැදිලි වැඩපිළිවෙළක් නොමැති බවත් ඔහු පෙන්වා දුන්නේය. එපමණක් නොව, මේ වන විට අස්වැසුම ප්‍රතිලාභ කප්පාදු කිරීමටද රජය පියවර ගෙන ඇති බව ඔහු වැඩිදුරටත් චෝදනා කළේය.
















