විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සහ බුද්ධි කමිටුවේ සාමාජික, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නියෝජිත ක්‍රිසි හවුලාහන් (Chrissy Houlahan) මහත්මිය ඇතුළු දූත පිරිසක් කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී හමුවී තිබේ.
මෙම හමුවේදී ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර, ආර්ථික සහයෝගීතාව, පාලනය, අධ්‍යාපනය සහ කලාපීය ස්ථාවරත්වය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇත. ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතියට සහ දිගුකාලීන සංවර්ධනයට ඇමෙරිකාවෙන් ලැබෙන අඛණ්ඩ සහයෝගය අගය කළ විපක්ෂ නායකවරයා, දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ සමයේ ඇඟලුම් කර්මාන්තයට හිමි වූ ඇමරිකානු කෝටා ප්‍රවේශය සහ රටේ සංවර්ධනයට එක්සත් ජනපදය ඉටු කළ කාර්යභාරය මෙහිදී විශේෂයෙන් සිහිපත් කළේය.
ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්, ආර්ථික ස්ථාවරත්වය සහ ශ්‍රී ලංකාව සමඟ අඛණ්ඩ සම්බන්ධතාව තහවුරු කරන බව ක්‍රිසි හවුලාහන් මහත්මිය මෙහිදී ප්‍රකාශ කළ අතර, ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශක්තිමත් කිරීම, විනිවිදභාවය සහ තිරසාර ආර්ථික අවස්ථා නිර්මාණය කිරීම පිළිබඳව ද දෙපාර්ශ්වය අදහස් හුවමාරු කර ගත්හ.














