22 වැනි සංශෝධනය හරහා ජනතාවගේ මූලික අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කරමින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය කෙලෙසීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
අද (31) විපක්ෂ නායක කාර්යාලයේදී සිවිල් සංවිධාන නියෝජිතයන් හමුවූ අවස්ථාවේදී ඔහු මෙම අදහස් පළ කළේය. පක්ෂ මූලස්ථානවලට අවශ්‍ය පරිදි යෞවන සමාජ හා සිවිල් ආරක්ෂක කමිටු පත්කරමින් අධිකරණයට බලපෑම් එල්ල කරන යුගයක් නිර්මාණය වී ඇති බවත්, එමගින් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට බාධා සිදුවන බවත් ඔහු පෙන්වා දුන්නේය. රටේ සංවර්ධනයේදී සහ ආපදා අවස්ථාවලදී සිවිල් සංවිධාන ඉටුකරන සේවය ඉහළ අගයක් ගන්නා බවත්, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව නියාමනය සිදුනොකර බලහත්කාරයෙන් ඒවා පාලනය කිරීමට උත්සාහ නොකළ යුතු බවත් ඔහු අවධාරණය කළේය. වත්මන් රජය ගොවි, ධීවර හා ව්‍යවසායකයන් මත දැඩි රාජ්‍ය පීඩනයක් එල්ල කරමින් සිටින බවත්, රජයේ මෙම මර්දනකාරී වැඩපිළිවෙළට එරෙහිව සමස්ත ජනතාවම එකට පෙළගැසිය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.














