පසුගිය වසර දෙකක කාලය පුරා රජය විසින් අනුගමනය කරනු ලැබූ දැඩි මූල්‍ය සහ මුදල් ප්‍රතිපත්ති හේතුවෙන් රටේ උද්ධමනය, බැංකු පොලී අනුපාත, රුපියලේ අගය මෙන්ම රැකියා වෙළෙඳපොළ කෙරෙහි ඇති වී තිබෙන සමස්ත බලපෑම පිළිබඳව ආණ්ඩුවේ සැබෑ තක්සේරුව සහ ස්ථාවරය කුමක්දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියේය. පාලකයන් ආර්ථිකය ස්ථාවර බව පැවසුවද බිම් මට්ටමේ පවතින සැබෑ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් බව ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.
පසුගිය අප්‍රේල් මාසයේ නිල දත්ත වාර්තා පෙන්වා දෙමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ, සාමාන්‍ය පුද්ගලයෙකුට දින 30ක කාලයක් ජීවත් වීම සඳහා රජය විසින් නිල වශයෙන් ගණනය කර නියම කර ඇති මුදල වර්තමාන වෙළෙඳපොළ මිල ගණන් හමුවේ ආහාර සහ ආහාර නොවන මූලික අවශ්‍යතා පියවා ගැනීමට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවයි. රජයේ මෙම දර්ශකයන් සහ ගණනය කිරීම් ප්‍රායෝගික නොවන බවත්, ජනතාව මුහුණ දෙන සැබෑ ජීවන වියදම් අර්බුදය වසන් කිරීමට රජය උත්සාහ කරන බවටත් ඔහු සැක පළ කළේය.
ආණ්ඩුව පනවා ඇති අධික බදු බර, ඉහළ බැංකු පොලී අනුපාත සහ රජයේ වියදම් දැඩි ලෙස සීමා කිරීමේ ප්‍රතිපත්ති හේතුවෙන් මෙරට මධ්‍යම පන්තිය, වෘත්තීයවේදීන්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් (SMEs), ගොවීන් මෙන්ම ධීවර ජනතාව ද මේ වන විට දැඩි ආර්ථික පීඩනයකට සහ අසරණභාවයකට පත්ව සිටින බව විපක්ෂ නායකවරයා අවධාරණය කළේය. පවත්නා මෙම ක්‍රමවේදය වෙනස් කර නිෂ්පාදන ආර්ථිකයක් ඔස්සේ ජනතාවට සහන සැලසීමට රජය වහාම පියවර ගත යුතු බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
















