රට මේ වන විට දැවැන්ත ආර්ථික උවදුරකට මුහුණ දී ඇති බවත්, පුද්ගල ආර්ථිකයන් මෙන්ම රටේ සමස්ත ආර්ථිකය ද කඩා වැටී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ හම්බන්තොට, කටුවන හඳුගල විජයාරාමයේ අභිනවයෙන් ඉදිකළ වාහල්කඩ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ විදේශ සංචිත අඩුවීම සහ අපනයන ක්ෂේත්‍රයේ දියුණුව මන්දගාමී වීම හේතුවෙන් ඇඟලුම් කර්මාන්තශාලා වැසී යාමේ අවදානමක් පවතින බවත්, එය තරුණ තරුණියන්ගේ රැකියා අහිමි වීමට හේතු වන බවත්ය. රට තුළ ආයෝජක හිතකර පරිසරයක් නොමැති වීම නිසා සෘජු විදේශ ආයෝජන අහිමි වී ඇති බව පැවසූ ඒ මහතා, වියට්නාමය වැනි රටවල් යුද්ධයකින් බැට කෑවද, අද වන විට ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගා ගැනීමට සමත්ව ඇතැයි උදාහරණ ලෙස දැක්වීය.
පොහොර මිල ඉහළ යාම සහ ගොවීන්ගේ අස්වැන්නට නිසි මිලක් නොමැති වීම හේතුවෙන් ගෘහ ආර්ථිකය බිඳ වැටී ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා, රට ගොඩගැනීමට නව ආර්ථික වැඩපිළිවෙළක් සහ මර්දනය වෙනුවට සංවේදී පාලනයක් අවශ්‍ය බව අවධාරණය කළේය. නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය සේවය, කර්මාන්ත සහ කෘෂිකර්මාන්තය ශක්තිමත් කිරීමට රජය මැදිහත් විය යුතු බවත්, තාක්ෂණික දැනුම සහ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවය ධනවතුන්ට පමණක් සීමා නොවී පොදු ජනතාවට ද හිමි විය යුතු බවත් ඔහු පැවසීය. රටේ පවතින තත්ත්වය හමුවේ දේශපාලනය පවතින්නේ ‘පච දේශපාලනයක්’ බවට ද ඔහු වැඩිදුරටත් චෝදනා කළේය.
















