වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව විපක්ෂයේ සිටියදී වී කිලෝවකට රුපියල් 150 ක ස්ථාවර මිලක් ලබා දී එය නීතිගත කරන බවට පොරොන්දු වී බලය ලබා ගත්තද, වසර දෙකක් ගත වී ඇතත් තවමත් එවැනි අණපනත් ක්‍රියාත්මක කර නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
ගලේවෙල දේවාහුව ප්‍රදේශයේ පැවති උත්සවයකදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ අද දින වී කිලෝවක් නිෂ්පාදනය සඳහා රුපියල් 137 ක පිරිවැයක් යන බව කෘෂිකර්ම ඇමතිවරයාම පාර්ලිමේන්තුවේදී පිළිගෙන ඇති පසුබිමක, වර්තමාන සහතික වී මිල රුපියල් 120 ක් ලෙස තැබීම හරහා රජය හිතාමතාම ගොවියාගේ වී කිලෝවකින් රුපියල් 17 ක පාඩුවක් සිදු කර ඇති බවයි.
එමෙන්ම, කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් ශක්තිමත් කිරීමට මිලියන 7,500 ක් වෙන් කළද අද වන විට රජය වී මිලදී නොගන්නා බවත්, මෙරට වාර්ෂික සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් ලක්ෂ 25 ක් වුවද, මෙට්‍රික් ටොන් ලක්ෂ 32 ක නිෂ්පාදනයක් පවතිද්දී රජය මෙට්‍රික් ටොන් 382,000 ක සහල් විදේශයන්ගෙන් ආනයනය කර ගොවි ජනතාව අමාරුවට දමා ඇති බවද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
















