වර්තමාන රජය පොහොසත් රටක් සහ ලස්සන ජීවිතයක් නිර්මාණය කරන බව පැවසුවද, ගොවියාට, ධීවරයාට, ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට ශක්තියක් ලබා දී අධ්‍යාපනය හා සෞඛ්‍යය නංවාලීම වෙනුවට අධිකරණ පද්ධතියේ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමට කටයුතු කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
කිරින්ද ධීවර වරාය ආශ්‍රිතව ධීවර ජනතාවගේ ගැටලු සොයා බැලීමට එක් වූ අවස්ථාවේදී විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය. රටේ ප්‍රශ්න සහ ජනතාවගේ ජීවන ගැටලු විසඳීම පසෙක තබා, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන හරහා ප්‍රජාතන්ත්‍රවාදය බිඳදමා ඒකාධිපති පාලනයක් ස්ථාපිත කිරීමට රජය උත්සාහ කරන බව හෙතෙම කියා සිටියේය. විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම අධිකරණ ස්වාධීනත්වයට මරු පහරක් වන බවත්, එයින් නීතියේ ආධිපත්‍යය විනාශ වී එකම පක්ෂයක් රට පාලනය කරන ඒකාධිපති යුගයක් බිහි වනු ඇති බවත් ඔහු අවධාරණය කළේය.
තවදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ, බදු අඩු කරන බවට සහ සහන ලබා දෙන බවට පොරොන්දු වූවද, අද වන විට ගොවි, ධීවර සහ පාසල් උපකරණවලට පවා වැට් බදු පනවා ජනතාව අසීමිත ආර්ථික පීඩනයකට ලක් කර ඇති බවයි. කර්මාන්තශාලා රට හැර යන තත්ත්වයක් තුළ තරුණ රැකියා ප්‍රශ්නයට සහ දිළිඳුකම පිටුදැකීමට රජය සතුව පිළිතුරු නොමැති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
















