2016 ජූනි මස 5 වැනිදා සාලාව යුද හමුදා කඳවුරේ අවි ගබඩාව පුපුරා යාමෙන් දැඩි ලෙස හානියට පත් වූ සාලාව නගරය, පෙර පැවැති තත්ත්වයටත් වඩා සර්වසම්පූර්ණ නව සැලැස්මක් යටතේ නවීකරණය කර සංවර්ධනය කිරීමට රජය තීරණය කර තිබේ. ඒ සඳහා වන මූලික පියවර ගැනීමේ විශේෂ සාකච්ඡාවක් පෙරේදා (22) පවත්වා ඇති බව සීතාවක සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා පැවසීය.
නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා ඇතුළු උසස් නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මෙම සාකච්ඡාව පවත්වා ඇත. විවිධ නීතිමය ප්‍රමාදයන් හේතුවෙන් වසර 10කට ආසන්න කාලයක් තිස්සේ නිසි අවධානයකට ලක් නොවී අතහැර දමා තිබූ මෙම සංවර්ධන ව්‍යාපෘතිය, අදියර කිහිපයක් යටතේ කඩිනමින් ආරම්භ කිරීමට වත්මන් රජය පියවර ගෙන තිබේ.
මේ සඳහා වෙන් කර ඇති අක්කර 5ක භූමි ප්‍රමාණය තුළ සාලාව සහ ඒ අවට ජනතාවගේ පොදු පහසුකම් ඉහළ නැංවීමටත්, එදා පිපිරීමෙන් අසරණ වූ ව්‍යාපාරික ප්‍රජාව වෙනුවෙන් ස්ථිර හා නවීන ව්‍යාපාරික පරිශ්‍රයන් නිර්මාණය කිරීමටත් බලාපොරොත්තු වන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
















