ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සංක්‍රමණික නීති ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළේ ඇතැම් ක්‍රියාමාර්ග “සීමාව ඉක්මවා ගොස් ඇති” බව ෆ්ලොරිඩා රිපබ්ලිකන් කොංග්‍රස් මන්ත්‍රීවරියක වන මාරියා එල්විරා සලාසාර් පවසයි.
නැවත මැතිවරණයට ඉදිරිපත්ව සිටින සලාසාර් මේ බව සඳහන් කර ඇත්තේ ට්‍රම්ප් අමතා නිකුත් කළ තත්පර 30ක ද්විභාෂා ප්‍රචාරණ දැන්වීමක් මගිනි. එහිදී 2024 ජනාධිපතිවරණයේදී ට්‍රම්ප්ට සහාය දැක්වූ හිස්පැනික් ජනතාව අතරින් ඇතැමුන් මේ වනවිට තමන් පාවා දී ඇති බවට හැඟීමක සිටින බවද ඇය ප්‍රකාශ කර ඇත.
“ඔබගේ සංක්‍රමණික නීති ක්‍රියාත්මක කිරීමේ ඇතැම් උත්සාහයන් සීමාව ඉක්මවා ගොස් තිබෙනවා” යනුවෙන් සලාසාර් ට්‍රම්ප්ට සෘජුවම පවසා ඇති අතර, සංක්‍රමණික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ඔහුගේ උපදේශකයන් ලබාදෙන උපදෙස් පිළිබඳව සැලකිලිමත් වන ලෙසද ඉල්ලා තිබේ.
සලාසාර්ගේ මෙම ප්‍රකාශය පැමිණෙන්නේ නොවැම්බර් 3 වැනිදා පැවැත්වීමට නියමිත ඇමෙරිකානු මධ්‍යවාර මැතිවරණයට පෙරය. ඇය නියෝජනය කරන දකුණු ෆ්ලොරිඩා ප්‍රදේශය විශාල හිස්පැනික් ජනගහනයක් සහිත ප්‍රදේශයක් වන අතර, ඇය ඩිමොක්‍රටික් අපේක්ෂක එලියට් රොඩ්‍රිගස්ට එරෙහිව නැවත මන්ත්‍රී ධුරය සඳහා තරග කරයි.














