ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාගේ අත්අඩංගට ගැනීම ඇතුළු මෑතකාලීන සිදුවීම් මුල් කරගනිමින්, වර්තමාන රජයේ දේශපාලන හැසිරීම දැඩි ලෙස විවේචනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා මාධ්‍ය හමුවක් අමතමින් විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබේ.
ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවල පිරිහීම් අධ්‍යයනය කරන විශ්ලේෂකයන් විසින් හඳුන්වා දී ඇති **”Institutional Weaponization”** හෙවත් **”රාජ්‍යයේ ආයතන දේශපාලන ආයුධ බවට පරිවර්තනය කිරීමේ”** ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි නරක දේශපාලන මූලෝපාය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මාලිමා ආණ්ඩුව විසින් ලංකාව තුළ බරපතල ලෙස භාවිත කරමින් සිටිනු නිරීක්ෂණය වන බව හෙතම පෙන්වා දුන්නේය. මෙම ගැටළුව යම් දේශපාලන පක්ෂ කිහිපයකට පමණක් සීමා වූවක් නොව, සමස්ත ප්‍රජාතන්ත්‍රවාදී සමාජයම බරපතල පිරිහීමක් කරා තල්ලු කර දැමීමක් බවද සංජීව එදිරිමාන්න මහතා එහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.
















