පසුගිය කාලයේ වංචා හා දූෂණ සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ඇතැම් දේශපාලඥයන් සහ රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම රට තුළ යහපත් ප්‍රවණතාවක් ඇති කර ඇති බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. හලාවත පැවති සම්මන්ත්‍රණයක් අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළ අතර, මහජන මුදල් අවභාවිතයට සහ දූෂණයට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතු බවද අවධාරණය කළේය.
දීර්ඝ කාලයක් මෙරට පැවති දේශපාලන සංස්කෘතිය ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් නොව දේශපාලඥයන්ගේ බලය සහ පැවැත්ම තහවුරු කරගැනීම සඳහා ගොඩනැඟුණු විනාශකාරී ක්‍රමයක් බව පෙන්වා දුන් ඒ මහතා, රටේ ඇති වූ දේශපාලන අර්බුදයත් සමඟ එම සංස්කෘතියේ විශාල වෙනසක් සිදුව ඇති බව කියා සිටියේය. එහෙත් වත්මන් ආණ්ඩුවේ දූෂණ විරෝධි වැඩපිළිවෙළ අඩාළ කිරීමට බංකොලොත් දේශපාලන බලවේග එක්වෙමින් සිටින බවත්, තාවකාලික ආධාර මඟින් ජනතාවගේ දිගුකාලීන ආර්ථික ගැටලු විසඳිය නොහැකි බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.














