යේමනයේ හූති සටන්කාමීන්ගේ ක්‍රියාකාරකම් තවදුරටත් උග්‍රවීමත් සමඟ සෞදි අරාබියට දැඩි තීරණ කිහිපයකට මුහුණදීමට සිදුව ඇති බව විශ්ලේෂකයන් පෙන්වා දෙයි.
2022 වසරේ සිට සාපේක්ෂව ස්ථාවරව පැවති යේමන යුද පෙරමුණෙන් හූති සටන්කාමීන් ඉදිරියට පැමිණ ඇති අතර, බබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය ආසන්නයේ වැදගත් ස්ථාන කිහිපයක් අත්පත් කරගෙන නව පෙරමුණක් විවෘත කර ඇති බව Al Jazeera වාර්තා කරයි.
ඉරානයේ සහාය ලබන හූති සටන්කාමීන් පසුගිය දින කිහිපය තුළ Greater Hanish සහ Lesser Hanish දූපත් මෙන්ම රතු මුහුදේ පිහිටි මෝචා වරාය නගරයද සිය පාලනයට ගෙන ඇති බව වාර්තා වේ.
මේ හේතුවෙන් ලෝකයේ ප්‍රධාන බලශක්ති ප්‍රවාහන මාර්ගයක් වන බබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව හූති බලපෑම තවදුරටත් ශක්තිමත් වී ඇති අතර, එය ගෝලීය ඉන්ධන මිල කෙරෙහිද බලපෑම් ඇති කළ හැකි බව විශ්ලේෂකයන් පෙන්වා දෙයි.
මේ අතර සෞදි අරාබියට අයත් කිලෝමීටර් 1,200ක් පමණ දිග East-West තෙල් නල මාර්ගයට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වීමෙන් එහි මෙහෙයුම් නතර කිරීමට සිදුව තිබේ. එම නල මාර්ගය හරහා ගල්ෆ් වෙරළේ සිට රතු මුහුදේ Yanbu වරාය වෙත ලෝක තෙල් සැපයුමෙන් ආසන්න වශයෙන් 4%කට සමාන ප්‍රමාණයක් ප්‍රවාහනය කෙරේ.
එම නල මාර්ගය අක්‍රියව පැවතීමත්, හූති සටන්කාමීන් රතු මුහුදු වෙරළ සහ බබ් අල්-මන්දබ් ආසන්න දූපත් වෙත සිය බලපෑම පුළුල් කරමින් සිටීමත් හේතුවෙන් සෞදි අරාබියේ ප්‍රධාන තෙල් අපනයන මාර්ග දෙකක්ම පීඩනයට ලක්වීමේ අවදානමක් මතුව තිබේ.
යේමනය සහ ගල්ෆ් කලාපය සම්බන්ධයෙන් පර්යේෂකයෙකු හා දේශපාලන විශ්ලේෂකයෙකු වන Baraa Shiban පවසන්නේ හූති සටන්කාමීන් සමඟ ඉරානය පවත්වාගෙන යන සබඳතාව හරහා ලෝක තෙල් ආර්ථිකයෙන් සැලකිය යුතු කොටසකට තර්ජනයක් එල්ල වී ඇති බවයි.
විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ සෞදි අරාබියට හූති තර්ජනයට ප්‍රතිචාර දැක්වීම සඳහා හමුදාමය විකල්ප කිහිපයක් පවතින නමුත්, ඒවා ක්‍රියාත්මක කිරීමෙන් යේමන යුද්ධය තවදුරටත් පුළුල් වීම ඇතුළු අවදානම් රැසක් මතුවිය හැකි බවයි.
ඒ අනුව හූති සටන්කාමීන්ගේ ඉදිරි ගමන පාලනය කිරීම, තම තෙල් අපනයන මාර්ග ආරක්ෂා කිරීම සහ කලාපීය යුද්ධය තවදුරටත් පුළුල් නොකිරීම අතර සෞදි අරාබියට දැඩි තීරණ ගැනීමට සිදුව ඇති තත්ත්වයක් මතුව තිබේ.















