27 April 2024
#දේශීය

සෞදි ව්‍යාපාරික දූත පිරිස විදේශ ඇමැති අලි සබ්රි හමුවෙයි

ශ්‍රී ලංකාව තුළ සිදු කිරීමට අපේක්ෂිත ආයෝජන සම්බන්ධයෙන් කරුණු සෙවීමේ මෙහෙයුම සඳහා සෞදි අරාබියේ ව්‍යාපාරික පිරිසක් පසුගිය 13 වනදා විදේශ කටයුතු අමාත්‍යංශයේ දී විදේශ කටයුතු අමාත්‍ය එම්. යූ. එම්. අලි සබ්රි මහතා හමුවිය.

විදේශ අමාත්‍යංශය පැවසුවේ එම හමුවට පැමිණ ඇත්තේ අජ්ලන් සමූහ ව්‍යාපාරයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපතිවරයා සහ සෞදි අරාබියේ සෞදි චීන ව්‍යාපාරික කවුන්සිලයේ සභාපතිවරයා වන ෂෙයික් මොහමඩ් අල්- අජ්ලන් යන අය බවයි.

වරාය නගරය, ආගන්තුක සත්කාරක අංශය සහ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය ඇතුළුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය සතු ඔරොත්තු දීමේ හැකියාව සහ ශක්‍යතා සහිත ආයෝජන අවස්ථා පිළිබඳව අමාත්‍ය සබ්රි මහතා මෙහිදී මෙම නියෝජිත පිරිස දැනුම්වත් කළේය.

ශ්‍රී ලංකාවේ විවිධ අංශ ආශ්‍රිතව ආයෝජනය කිරීම සම්බන්ධයෙන් තමන් තුළ පවතින කැමැත්ත පළ කළ ෂෙයික් මොහමඩ්, ඒ සඳහා ශ්‍රී ලංකා රජයේ සහය ඉල්ලා සිටියේ ය. අජ්ලන් සමූහය ගෘහ, කර්මාන්ත, වාණිජ සහ ගබඩා අවකාශ සම්බන්ධයෙන් විශේෂිත සෞදි අරාබියේ ඉහළම දේපළ වෙළඳාම් සමාගම් අතර සිටින එක් සමාගමක් වේ. මෙම සමාගම රටවල් 25 කට අධික ගණනක් තුළ සැලකිය යුතු මට්ටමේ ආයෝජන සිදු කොට ඇත.

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා සහ එම අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද මෙම හමුව සඳහා සහභාගී වූහ. සෞදි නියෝජිත පිරිසට අජ්ලන් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරියා සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය ඇතුළත් විය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *