ලෙබනනයට සහ එරට ජනාධිපති ජෝසප් අවුන් මහතාට සෞදි අරාබියේ පූර්ණ සහාය හිමිවන බව සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් (MBS) කුමරු ප්‍රකාශ කර තිබේ.
ලෙබනන් ජනාධිපතිවරයා සමඟ පැවැති දුරකථන සංවාදයකදී, ලෙබනනයේ මෙන්ම මැදපෙරදිග කලාපයේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳව නායකයන් දෙපළගේ අවධානය යොමු වී ඇත. එහිදී ලෙබනනයේ ස්වෛරීභාවය, ස්වාධීනත්වය සහ භෞමික අඛණ්ඩතාව සුරැකීමට ජනාධිපති ජෝසප් අවුන් ගන්නා උත්සාහය ඇගයීමට ලක් කළ ඔටුන්න හිමි කුමරු, එරටට අවශ්‍ය සහාය අඛණ්ඩව ලබාදෙන බවට සහතික වී තිබේ.
එමෙන්ම, ලෙබනන් රජයේ ප්‍රමුඛතාවන්ට අනුකූලව සහාය වීමට සෞදි අරාබිය සූදානම් බව ද ඔහු සඳහන් කර ඇත. සෞදි අරාබිය දැක්වූ සහායට ජනාධිපති ජෝසප් අවුන් සිය කෘතඥතාව පළ කර ඇති අතර, ද්විපාර්ශ්වික සාකච්ඡා සඳහා සෞදි අරාබියේ සංචාරයක නිරත වන ලෙස ලැබුණු ආරාධනය ද පිළිගෙන තිබේ.
















