ඇමරිකානු රැප් ගායකයෙකු සහ සංගීත නිෂ්පාදකයෙකු වන සීන් ‘ඩිඩී’ කොම්බ්ස් (Sean ‘Diddy’ Combs) බන්ධනාගාරයෙන් නිදහස් කිරීමට නියමිතව තිබූ දිනය නැවත වරක් ඉදිරියට ගෙනවිත් ඇති බව වොෂින්ටන් ටයිම්ස් (The Washington Times) සහ පීපල් (People) සඟරාව වාර්තා කරයි. ඒ අනුව, මීට පෙර 2028 ජූනි 4 වැනිදා සහ පසුව 2028 අප්‍රේල් මාසය දක්වා වෙනස් කර තිබූ ඔහුගේ නිදහස් වීමේ දිනය, මේ වන විට 2028 පෙබරවාරි 23 වැනිදා දක්වා තවත් ඉදිරියට ගෙන ඇත.
මෙලෙස සිරදඬුවම් කාලය කෙටි කිරීම සම්බන්ධයෙන් ඇමරිකානු බන්ධනාගාර කාර්යාංශය (Bureau of Prisons) මෙතෙක් නිල පැහැදිලි කිරීමක් සිදුකර නොමැති වුවද, බන්ධනාගාරය තුළ ඔහුගේ යහපත් හැසිරීම වෙනුවෙන් ලැබෙන ලකුණු (Good Conduct Credits) හෝ ‘First Step Act’ වැනි පුනරුත්ථාපන වැඩසටහන්වල දායකත්වය මීට හේතු වන්නට ඇති බව විචාරකයෝ විශ්වාස කරති.
කෙසේ වුවද, බන්ධනාගාරයෙන් නිදහස් වූ පසුවද ඔහුට එරෙහිව සිවිල් නඩු 70කට අධික සංඛ්‍යාවක් සිවිල් උසාවිවල විභාග වීමට නියමිතව පවතී. මේ අතර, ඩිඩීගේ නීතිඥ කණ්ඩායම ඔහුට පනවා ඇති සමස්ත වරදකරු කිරීමේ තීන්දුවට (Conviction) එරෙහිව මේ වන විටත් සක්‍රියව ඇපෑලක් ඉදිරිපත් කරමින් නීතිමය සටනක නිරත වෙමින් සිටින බවද එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
















