සමගි කැපිටල් (පෞද්ගලික) සමාගම ශ්‍රී ලංකාව තුළ කොටස් තැරැව්කරුවෙකු හෝ කොටස් වෙළෙන්දෙකු ලෙස කටයුතු කිරීමට බලපත්‍ර ලබාගෙන නොමැති බව ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) ආයෝජකයින් සහ මහජනතාව වෙත දැනුම් දෙයි.
සමාජ මාධ්‍ය හරහා සංසරණය වන එම සමාගමට කොටස් තැරැව්කාර බලපත්‍රයක් ලබා දී ඇති බවට සඳහන් වන සහතිකය ව්‍යාජ එකක් බවත්, එය කිසිසේත්ම කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද්දක් නොවන බවත් SEC පවසයි.
ආයෝජකයින් ආරක්ෂා කර ගැනීම සඳහා කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම් සහ උපදෙස් පහත දැක්වේ.
කොළඹ කොටස් වෙළඳපොලේ (CSE) ගනුදෙනු කිරීම සඳහා සමගි කැපිටල් සමාගම හා සම්බන්ධ බැංකු ගිණුම්වලට කිසිදු මුදලක් තැන්පත් නොකරන ලෙස ආයෝජකයින්ට තරයේ අවවාද කරනු ලැබේ.
තමන් සිදුකරන ආයෝජන ආරක්ෂා කර ගැනීම සඳහා බලපත්‍රලාභී අතරමැදියන් පිළිබඳ තොරතුරු SEC සහ CSE නිල වෙබ් අඩවිවලින් තහවුරු කරගන්නා ලෙසත්, ගනුදෙනු සිදු කළ යුත්තේ සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් බලපත්‍ර ලබා දී ඇති තැරැව්කාර සමාගම් හරහා පමණක් බවත් සිහිපත් කරනු ලැබේ.
ආයෝජකයින්ගේ ආරක්ෂාව අතිශය වැදගත් වන බැවින්, ආයෝජනය කිරීමට පෙර අදාළ ආයතනවල සුදුසුකම් සහ නීත්‍යානුකූල භාවය පිළිබඳව දැඩි ලෙස විමසිලිමත් වන ලෙස SEC මහජනතාවගෙන් ඉල්ලා සිටී.
















