පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව, වර්තමානයේ සේවයේ නිරත පොලිස් නිලධාරියෙකු ලබාදුන් වැදගත් ප්‍රකාශයක් සහිත වාර්තාවක් රහසිගතව අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබේ.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීම හෝ රඳවා ගැනීම වළක්වාලන ලෙස ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සම සම්බන්ධයෙන් කරුණු සලකා බැලූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය මෙම කරුණු අනාවරණය කළාය.
පෙත්සම සලකා බැලූ විනිසුරු මඩුල්ල හමුවේ කරුණු දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අවධාරණය කළේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන ඉතා සංකීර්ණ සහ අඛණ්ඩව සිදුවන ක්‍රියාවලියක් බවයි. විමර්ශන සඳහා ඇමරිකානු සමාජ මාධ්‍ය සමාගම්වල ද සහාය ලබාගනිමින් සිටින බවත්, මෙම අවස්ථාවේදී පෙත්සම්කරු ඉල්ලා සිටින සහනය ලබා දිය නොහැකි බවත් ඇය පෙන්වා දුන්නාය.
පාස්කු ප්‍රහාරය වැළැක්වීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ශානි අබේසේකර මහතාට එරෙහිව කිසිදු නිර්දේශයක් කොමිෂන් සභා වාර්තා මගින් නිකුත් කර නොමැති බව.
පෙත්සම්කරු විසින් අධිකරණය නොමඟ යැවීමට උත්සාහ කරන බවට චෝදනා කළ ඇය, ශානි අබේසේකර මහතා ද්වේෂ සහගතව කටයුතු කළ බවට කිසිදු සාක්ෂියක් නොමැති බව පෙන්වා දුන්නාය.
පෙත්සම්කරුගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ ඇතැම් තර්ක සහ කරුණු පදනම් විරහිත බව ද ඇය සඳහන් කළාය.
පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහතා කරුණු දක්වමින්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ඇතැම් ප්‍රතිපාදනවල පවතින දරදඬු බව පිළිබඳව සිය කම්පනය පළ කළේය.
දෙපාර්ශ්වයේ කරුණු දැක්වීම් සලකා බැලීමෙන් පසු, අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම පෙත්සම පිළිබඳ වැඩිදුර සලකා බැලීම ජූලි 23 වනදා දක්වා කල් තබන ලදී.
















