17 May 2024
#දේශීය #පුවත්

චීනය සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් කඩිනම් කිරීමට පියවර

ශ්‍රී ලංකාවේ චීන තානාපති චි ෂෙන්හොන්ග් (Qi Zhenhong) අද (02) කොළඹ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වීය.

එහිදී පසුගිය මාර්තු මාසයේදී අග්‍රාමාත්‍යවරයාගේ චීන නිල සංචාරය අතරතුර දී දෙරට අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් කඩිනමින් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කළේ ය.

අවබෝධතා ගිවිසුම් ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකාව සහ චීනය අතර දිගුකාලීන මිත්‍රත්වයේ සහ ආර්ථික සහයෝගීතාවයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරනු ඇති බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසී ය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා ගිවිසුම්වලට අත්සන් තැබූ අතර චීනය වෙනුවෙන් අමාත්‍යාංශ නවයක ලේකම්වරු අත්සන් තැබූ හ. අග්‍රාමාත්‍යවරයා සහ චීන අග්‍රාමාත්‍ය ලි චියැන්ග් (Li Qiang) ඉදිරියේ ඊට අත්සන් තැබිණි.

තානාපති චි ෂෙන්හොන්ග් (Qi Zhenhong) සමඟ පැවති සාකච්ඡාවල දී අග්‍රාමාත්‍යවරයා පැවසුවේ අවබෝධතා ගිවිසුම් ක්‍රියාත්මක කිරීමට අමතර ව, ආර්ථික ගැටළු සඳහා දිගුකාලීන විසඳුම් වශයෙන් චීනයෙන් සෘජු පෞද්ගලික ආයෝජන මෙන් ම කෘෂිකර්මාන්තය, පුනර්ජනනීය බලශක්තිය, තොරතුරු තාක්ෂණ, අධ්‍යාපන සහ ජල සම්පාදන ක්ෂේත්‍රවල ආයෝජන සඳහා ද ශ්‍රී ලංකාව චීනයට ඇරයුම් කරන බව යි.

දුෂ්කරතා මඟහරවා ගැනීමට ශ්‍රී ලංකාව දක්වන ශක්තිය පිළිබඳ සතුටු වන බව තානාපති චි ෂෙන්හොන්ග් (Qi zhenhong) මහතා මෙහිදී පැවසූ අතර, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ආර්ථික අභියෝගවලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාවේ වත්මන් ප්‍රයත්නයන් සපුරාලීම සඳහා චීනයේ අඛණ්ඩ සහයෝගය ලබාදෙන බවට සහතික විය.
අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා සහ චීන ආර්ථික උපදේශකවරයා ද මෙම හමුවට එක් ව සිටිය හ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *