රජයේ සහ අර්ධ රාජ්‍ය ආයතනවල කාර්යාල පහසුකම් සඳහා පවතින ඉහළ ඉල්ලුම සපුරාලීම වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන සෙත්සිරිපාය අදියර III ව්‍යාපෘතියේ ඉතිරි ඉදිකිරීම් කටයුතු කඩිනමින් අවසන් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
නාගරික සංවර්ධන අධිකාරිය විසින් 2021 වසරේදී ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය, පසුගිය කාලයේ පැවති ආර්ථික අර්බුදය, අමුද්‍රව්‍ය හිඟය සහ ඉදිකිරීම් පිරිවැය ඉහළ යාම හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබුණි. ව්‍යාපෘතියේ සමස්ත ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් බිලියන 38.48ක් ලෙස ගණනය කර ඇති අතර, එය ඒකාබද්ධ මූල්‍යකරණයෙන් යුතු ව්‍යාපෘතියක් ලෙස ඉදිරියට ගෙන යාමට සැලසුම් කර ඇත.
මෙම ව්‍යාපෘතිය සඳහා බලශක්ති අමාත්‍යාංශය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ නාගරික සංවර්ධන අධිකාරිය වෙත වෙන් කිරීමට යෝජිත ඉඩකඩට අනුපාතිකව මූල්‍ය දායකත්වය ලබාදීමට නියමිතය. ඉදිකිරීම් කටයුතු අවසන් කිරීම සඳහා මුල් කොන්ත්‍රාත්කරු වන M/s Maga Engineering (Pvt) Ltd ආයතනය සමඟ රුපියල් බිලියන 25.58ක මුදලකට සංශෝධිත ගිවිසුමකට එළඹීමට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.














