සේවකයින් 1,000ක් පමණ ජීවිකාව සපුරා ගන්නා සහ දිනකට මෙට්‍රික් ටොන් 1,000කට අධිකව උක් අඹරන සෙවනගල උක් කර්මාන්ත ශාලාව හදිසියේ වසා දැමීම පිටුපස පවතින කුමන්ත්‍රණය කුමක්දැයි ගැමුණු පරපුර ජාතික ව්‍යාපාරය ප්‍රශ්න කර සිටී
පසුගිය ආණ්ඩු යටතේ බිලියන 2 ඉක්මවා ලාභ ලැබූ සෙවනගල කර්මාන්ත ශාලාව, නව රජය යටතේ බිලියන එකක් දක්වා පාඩු ලැබුවේ කෙසේද යන්න සම්බන්ධයෙන් එම සංවිධානය සාධාරණ සැකයක් මතු කරයි. උපාධිධාරී ඇමතිවරුන් එය පාඩු ලබන තත්ත්වයට ඇද දැමුවාද යන්න සහ ඒ සඳහා ඔවුන්ගේ පක්ෂ වෘත්තීය සමිති යොදා ගත්තාද යන්න ඔවුන් විමසා සිටියි. මුලින් වගා ගිනි ගැනීමට ලක්වීම, උක් ගොවියාට නිසි මිලක් නොලැබීම, නිසි කලට පොහොර නොලැබීම සහ සීනි සලාකය කපා දැමීම ආදී සියල්ල අතර සම්බන්ධතා ඇති කරමින්, සැලසුම් සහගත ලෙස IMF කොන්දේසි මත හෝ වෙනත් සමාගමකට විකුණා දැමීමේ පරමාර්ථයෙන් සෙවනගල වසා දැමුවාද යන්න ඔවුන් දැඩි ලෙස ප්‍රශ්න කරයි.
දහස් ගණනකගේ ජීවිකාව අහිමි කරමින් හිටිහැටියේ මෙම ආයතනය වසා දැමීම නිසා උක් ගොවියා මෙන්ම සේවකයාද දැඩි අගතියට පත්ව ඇති බව පෙන්වා දෙන ගැමුණු පරපුර ජාතික ව්‍යාපාරය, මේ සඳහා වගකිව යුත්තේ කවුරුන්දැයි විමසමින් තමන් මේ පිළිබඳව දැඩි අවධානයෙන් සහ විමසිල්ලෙන් සිටින බව රජයට මතක් කර සිටියි.
















