ඉන්දුනීසියාව පුරා පැතිර යන දැවැන්ත ලැව්ගිනි පාලනය කිරීම ඉදිරි කාලයේදී දැඩි අභියෝගයක් වනු ඇති බවත්, මේ සඳහා ප්‍රධාන හේතුව වී ඇති ‘එල් නිනෝ’ (El Niño) කාලගුණික තත්ත්වය සැප්තැම්බර් මාසයේදී උපරිම මට්ටමට පැමිණෙන බවත් එරට වනාන්තර කටයුතු අමාත්‍ය රාජා ජූලි අන්ටෝනි (Raja Juli Antoni) මහතා ප්‍රකාශ කරයි.
ජනවාරි සිට ජූලි දක්වා කාලය තුළ පමණක් හෙක්ටයාර 200,000ක (අක්කර 494,210ක) භූමි ප්‍රමාණයක් ගින්නෙන් විනාශ වී ඇති අතර, මෙම තත්ත්වය මිනිසා විසින් හිතාමතා සිදුකළ ගිනි තැබීම් නිසා වඩාත් උග්‍ර වී තිබේ. සුමාත්‍රා සහ බෝර්නියෝ දූපත් ආශ්‍රිතව පැතිරෙන මෙම දුම් වලාවන් (Haze) නිසා ඉන්දුනීසියාවට අමතරව අසල්වැසි මැලේසියාවේ සහ පිලිපීනයේ මැනිලා අගනුවර වායුගෝලීය තත්ත්වය ද අවදානම් මට්ටමට පත්ව ඇත. මේ වන විට වගකීම් විරහිත ලෙස කටයුතු කළ සමාගම් රැසකට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති අතර, කෘත්‍රිම වැසි ඇදහැලීමට සැලැස්වීම ඇතුළු හදිසි පියවර ගනිමින් ගින්න පාලනය කිරීමට එරට බලධාරීන් කටයුතු කරමින් සිටී.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















