ආසියා-පැසිෆික් කලාපය තුළ වර්ධනය වෙමින් පවතින මූල්‍ය වංචා සහ කූටෝපායන්ට (Scams and Fraud) විසඳුම් සෙවීම අරමුණු කරගනිමින් චීනයේ ෂැන්හයි නුවරදී විශේෂ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවක් පවත්වන ලදී. “MWC Shanghai 2026” ජාත්‍යන්තර සමුළුවට සමගාමීව GSMA ආයතනය විසින් සංවිධානය කරන ලද මෙම සංවෘත සැසිය (Closed-door session), ඩිජිටල් සේවාවන් කෙරෙහි පවතින විශ්වාසය තහවුරු කිරීම කෙරෙහි අවධානය යොමු කළේය.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සහභාගී වූ අතර, කලාපීය ඩිජිටල් ආර්ථිකය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කැපවීම එහිදී අවධාරණය කෙරිණි. කෘතිම බුද්ධිය (AI) සහ ස්වයංක්‍රීයකරණය භාවිතයෙන් දියත් කරන නවීන වංචනික ක්‍රියාවලීන්ට එරෙහිව ප්‍රතිපත්ති සම්පාදකයින් සහ නියාමකයින් ඒකාබද්ධව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.
“Building a Secure and Resilient Digital Future: AI, Automation and the Next Frontier of Anti-Scam Defence” යන තේමාව යටතේ පැවති සාකච්ඡාවේදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා, වංචා නිෂ්ක්‍රීය තාක්ෂණයන් දියුණු කිරීමේ වැදගත්කම සහ පුද්ගලික අංශයේ ආයෝජන දිරිමත් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය.
මෙම සාකච්ඡාව සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් බන්දුල හේරත් (විශ්‍රාමික) මහතා ඇතුළු තායිලන්තය, මාලදිවයින, මැලේසියාව සහ චීනය නියෝජනය කරමින් ඉහළ පෙළේ රාජ්‍යතාන්ත්‍රිකයින් සහ තාක්ෂණික ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පිරිසක් සහභාගී වූහ.
















