ශ්‍රී ලාංකේය හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ අභිමානය සහ කුසලතාව ජාත්‍යන්තර තලයට ගෙන යාම අරමුණු කරගත් “ශිල්ප අභිමානී – 2025/2026” ජාතික හස්ත කර්මාන්ත ජනාධිපති සම්මාන උළෙල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණි.
එම උත්සවය අමතමින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සඳහන් කළේ, ලංකාවේ සාම්ප්‍රදායික ශිල්ප සහ නිර්මාණ ලෝක ආර්ථිකය තුළ ඉතා ඉහළ අගයක් සහිත ක්ෂේත්‍රයක් වන බැවින් මේ හරහා ඩොලර් බිලියනයක ආර්ථිකයක් ගොඩනැගීමට රජය අපේක්ෂා කරන බවයි. ඒ සඳහා ජාතික ශිල්ප සභාව, ජාතික මෝස්තර මධ්‍යස්ථානය සහ ලක්සල ආයතන ශක්තිමත් කිරීමටත්, සමස්ත පද්ධතියම ඩිජිටල්කරණයට ලක් කිරීමටත් පියවර ගන්නා බව හෙතම වැඩිදුරටත් කියා සිටියේය.
මෙම උත්සවය සඳහා අමාත්‍යවරුන් වන වසන්ත සමරසිංහ, ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි සහ අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ශිල්පීන් රැසක් එක්ව සිටියහ.
















