මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ශිරාන් බාසික් ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු හුවමාරු වුවද, ඒ සම්බන්ධයෙන් මෙතෙක් නිල වශයෙන් කිසිදු දැනුම්දීමක් ලැබී නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් නිල නොවන තොරතුරු ලැබී ඇති අතර ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිසිය දැඩි අවධානයෙන් පසුවන බවයි. ජාත්‍යන්තර පොලිසිය (INTERPOL) හරහා ද මේ පිළිබඳව තොරතුරු විමර්ශනය කරමින් පවතින බවත්, මොහුට එරෙහිව රතු සහ නිල් නිවේදන දැනටමත් නිකුත් කර ඇති බවත් ඒ මහතා තහවුරු කළේය.
පසුගිය සතියේ වාර්තා වූයේ ශිරාන් බාසික් ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ඇති බවයි. ඉරාන මත්ද්‍රව්‍ය ජාලය සමඟ ඍජු සබඳතා පැවැත්වීම හේතුවෙන් මොහු ඇමරිකානු බලධාරීන්ට ද අවශ්‍යව සිටින පුද්ගලයෙකු ලෙස සැලකේ. මෙරටට මත්ද්‍රව්‍ය ජාවාරම් කරන ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවන් පස්දෙනාගෙන් අයෙකු ලෙස මොහු හඳුනාගෙන ඇත.
















