හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය සැප්තැම්බර් 16 වැනිදා අලුයම වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ. ඇය සිංගප්පූරුවේ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා ගිය බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ මහතා ද ප්‍රකාශ කර තිබේ.
මේ අතර සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා සැප්තැම්බර් 24 වැනිදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස ඇයට දැනුම් දී තිබේ. එම දැනුම්දීම මුලින් තංගල්ල කාල්ටන් නිවස වෙත යොමු කර තිබූ අතර ඇය සිංගප්පූරුව බලා පිටත්ව යාමට පැමිණ සිටියදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ද අදාළ දැනුම්දීම සිදුකර ඇති බව වාර්තා වේ.
ශිරන්ති රාජපක්ෂ මහත්මිය විමර්ශනයෙන් වැළකීම සඳහා රටින් පිටවූ බවට පළවන අදහස් ප්‍රතික්ෂේප කරන නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසන්නේ ඇය සිංගප්පූරුවට ගියේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා බවයි. ඇය සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලට ඇතුළත් කර ඇති බවට පළවන වාර්තා ස්වාධීනව තහවුරු කරගැනීමට මෙතෙක් නොහැකි වී තිබේ.












