කම්කරු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වූ ශ්‍රම වාසනා අරමුදල අහෝසි කෙරෙන මුදල් පනත යටතේ වන යෝජනා සම්මතය පාර්ලිමේන්තුවේදී (19) පස්වරුවේ වැඩිමහල් ඡන්දයෙන් සම්මත විය. මේ අනුව, ඉදිරියේදී එම අරමුදල නිල වශයෙන් ඈවර කිරීමට නියමිතය.
මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා විසින් මෙම යෝජනා සම්මතය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
මෙම අරමුදල රාජ්‍ය ව්‍යවසායයන් යටතට වැටෙන අතර, මූලික වශයෙන් ලොතරැයි විකිණීමෙන් මෙයට අරමුදල් ලැබී ඇත. අරමුදල මඟින් ඉටු කළ යුතු අරමුණු දැනටමත් කම්කරු අමාත්‍යාංශයේ වෙනත් අංශ හරහා ඉටු වන බැවින්, එය තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් නොමැත. එය අහෝසි කිරීමෙන් අනවශ්‍ය පරිපාලන වියදම් අඩු කරගත හැකි වේ. අරමුදල ඈවර කළද, ඊට අදාළ සේවක අංශ අමාත්‍යාංශයේ වෙනත් අංශ වෙත පවරා ගන්නා බැවින් සේවකයන්ගේ කිසිදු වරප්‍රසාදයක් අහිමි නොවන බව රජය පවසයි.
අරමුදලේ මුදල් එහි මූලික අරමුණුවලින් බැහැරව වෙනත් කටයුතු සඳහාද යොදාගෙන ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. උදාහරණයක් ලෙස, 2024 වසරේදී එවකට සිටි අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ සමයේ අධ්‍යාපන වැඩසටහන් සඳහා ලක්ෂ 66ක් සහ පාසල් බෑග් මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 66.8ක් (කෝටි 6යි ලක්ෂ 60ක්) වැය කර ඇති බව ඔහු සඳහන් කළේය. ශ්‍රමිකයන්ට උදව් කිරීමේ අරමුදලකින් පාසල් දරුවන්ට උදව් කිරීම මූලික අරමුණෙන් බැහැර වීමක් බවද ඔහු අවධාරණය කළේය.
මෙම පනත් කෙටුම්පත පිළිබඳ පැවති විවාදය සඳහා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් විස්සකට ආසන්න පිරිසක් අදහස් දක්වන ලදී.














