ළමුන් අන්තර්ජාලය ඔස්සේ ආරක්ෂා කිරීමේ අරමුණින් බ්‍රිතාන්‍ය රජය විසින් හඳුන්වා දීමට යෝජිත නව ආරක්ෂණ පියවරයන් දැඩි ලෙස විවේචනය කිරීමට පුද්ගලිකත්වය සුරක්ෂිත කරන ලොව ප්‍රමුඛතම පණිවිඩ හුවමාරු සේවාවක් වන ‘සිග්නල්’ (Signal) ආයතනය පියවර ගෙන තිබේ. ඔවුන් පවසන්නේ මෙමඟින් පරිශීලකයන්ගේ පුද්ගලිකත්ව අයිතීන් බිඳවැටෙන අතරම, සිදුවන නිරීක්ෂණ කටයුතු (Surveillance) තවදුරටත් ඉහළ යා හැකි බවයි.
බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය (Home Office) විසින් නිකුත් කරන ලද නිල නිවේදනයකට අනුව, වයස අවුරුදු 18ට අඩු දරුවන් භාවිත කරන ස්මාර්ට් දුරකථන සහ ටැබ්ලට් පරිගණක තුළ ඇති නිරුවත් හෝ අසභ්‍ය ඡායාරූප හඳුනාගෙන ඒවා අවහිර කිරීම සඳහා (Block) තාක්ෂණික පියවර ගන්නා ලෙස Apple සහ Google වැනි ප්‍රධාන සමාගම් වෙත මාස 3ක කාලයක් ලබා දී ඇත.
බ්‍රිතාන්‍ය අගමැති සර් කියර් ස්ටාර්මර් (Sir Keir Starmer) ද තාක්ෂණික සමාගම් වෙත දන්වා ඇත්තේ දරුවන් මෙවැනි ලිංගික දර්ශන සහිත ඡායාරූප ගැනීම, යැවීම හෝ නැරඹීම වැළැක්වීම සඳහා දැනට පවතින ආරක්ෂිත විශේෂාංග සක්‍රීය කරන ලෙස හෝ මෘදුකාංග යාවත්කාලීන (Software updates) කරන ලෙසයි.
කෙසේ වෙතත්, මෙම ක්‍රියාවලියේ පවතින බරපතළ අවදානම පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් Signal ආයතනය මෙසේ පෙන්වා දෙයි.
“ළමුන් ආරක්ෂා කිරීම සහ ඔවුන් රැකබලා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් වුවත්, මේ සඳහා අනිවාර්ය කර ඇති වයස් සීමා තහවුරු කිරීමේ (Age-verification) ක්‍රමවේද සහ උපාංග පරීක්ෂා කිරීමේ (Content-scanning) පියවරයන් මඟින් ළමුන් ඵලදායී ලෙස ආරක්ෂා වන්නේ නැහැ. බ්‍රිතාන්‍යය තුළ භාවිත වන උපාංගවල ඇති ඡායාරූප පරීක්ෂා කිරීම සඳහා මෙවැනි පද්ධති සැකසීම තුළින්, පසුකාලීනව වෙනත් ඕනෑම පෞද්ගලික තොරතුරක් නිරීක්ෂණය කිරීම සඳහා යොදාගත හැකි භයානක ‘නිරීක්ෂණ යටිතල පහසුකම්’ (Surveillance infrastructure) නිර්මාණය වෙනවා. මෙය අවසානයේදී පරිශීලකයන්ගේ පෞද්ගලික තොරතුරු මත විශාල තාක්ෂණික සමාගම්වල ඇති ආධිපත්‍යය තවදුරටත් ශක්තිමත් කිරීමටයි හේතු වෙන්නේ.”
















