අලුත් අවුරුදු උදාවත් සමඟ දිවයින පුරා සහ විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් එක්ව ජන ක්‍රීඩාවලට මුල්තැන දෙමින් බක්මහ උළෙල රැසක් සංවිධානය කර තිබේ. බෝගහකුඹුර, දෙහිමල්ගොල්ල අමරකෝන්ගම සුබසාධක සමිතිය බෝගහකුඹුර පොලීසියේ දායකත්වයෙන් සංවිධානය කළ අවුරුදු උත්සවය දෙහිමල්ගොල්ල ප්‍රජාශාලා පරිශ්‍රයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු අතර, කලවාන විශ්කම්ගොඩ වෙනස මිතුරු සංසදය සංවිධානය කළ බක්මහ උළෙල ද සාර්ථකව නිම විය.
මෙවර බක්මහ උළෙල අතරින් ගලතුර, කවිට්ටිකන්ද ප්‍රදේශයෙන් සුවිශේෂී පුවතක් වාර්තා විය. එහිදී තරග ජයග්‍රාහකයන්ට පිරිනැමුණු සියලුම ත්‍යාග වටිනා ලී භාණ්ඩ වීම විශේෂත්වයකි. වෘත්තියෙන් වඩු කාර්මිකයෙකු වන චමින්ද පුෂ්පකුමාර මහතා විසින් තමා විසින්ම නිර්මාණය කරන ලද කන්නාඩි මේස, ඇඳුම් රැක් සහ මේස පුටු මෙලෙස ජයග්‍රාහකයන් අතර බෙදා දී තිබේ.
ගාල්ල උණවටුන සංචාරක පුරවරයේ පැවැති අවුරුදු උත්සවය සඳහා විදේශීය සංචාරකයන් රැසක් ඉතා උනන්දුවෙන් සහභාගී වූ අතර, ලොස් ඇන්ජලිස් නුවර වුඩ්ලි ක්‍රීඩාංගනයේදී දකුණු කැලිෆෝනියා ශ්‍රී ලංකා සංගමය මඟින් සංවිධානය කළ බක්මහ උළෙල ද උසස් අන්දමින් පැවැත්විණි. මීට අමතරව, කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේදී හිසතෙල් ගෑමේ චාරිත්‍රය පූජ්‍ය රජවැල්ලේ සුභූති ස්වාමීන්වහන්සේගේ අනුශාසකත්වයෙන් සිදු කෙරුණු අතර රෝහල් කාර්ය මණ්ඩලය සහ රෝගීහු ඊට එක්ව සිටියහ.














