රත්මලාන ගොනා කෝවිල ප්‍රදේශයේ නිවෙසක සිදු කළ වැටලීමකදී කඩු 3ක්, කෙටේරියක්, කිනිසි 3ක් සහ මෙරට නිෂ්පාදිත අත්බෝම්බයක් සමඟ සැකකරුවන් 6 දෙනෙකු ගල්කිස්ස දූෂණ මර්දන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ගල්කිස්ස පොලිස් විශේෂ යතුරුපැදි බලකායේ නිලධාරියෙකු විසින් රත්මලාන ආතර් පෙදෙස ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1ක් (මිලිග්‍රෑම් 1,000ක්) සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කරන ලද ප්‍රශ්න කිරීම්වලදී මෙම වැටලීමට අදාළ තොරතුරු අනාවරණය වී ඇත. මත්ද්‍රව්‍ය අලෙවි කළ බව කියන අදාළ නිවෙසේ දොරටුවේ ‘සුපුන් සර්පයා ඇතුළුවීම තහනම්’ යනුවෙන් සටහන් කර තිබූ බව පොලිසිය පවසයි.
මෙම ස්ථානයේ සිදු කළ සෝදිසියකදී මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගත් බවට සැකකෙරෙන රුපියල් ලක්ෂ තුනක මුදක් සහ ජංගම දුරකථන 8ක්ද පොලිස් භාරයට ගෙන ඇත. මෙහි ප්‍රධාන සැකකරු 29 හැවිරිදි අයෙකු වන අතර, අනෙක් සැකකරුවන් රත්මලාන, නාවලපිටිය සහ ඇහැලියගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර රඳවා තබා ගැනීමේ නියෝග ලබා ගැනීමට නියමිතය.














