දිවයිනේ විවිධ ප්‍රදේශවල ඊයේ (17) දිනයේ සිදුවූ රිය අනතුරු පහකින් පුද්ගලයන් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. පූනෑව, ගොවිඳුපුර, එරාවුර්, බෙන්තොට සහ කිලිනොච්චිය යන පොලිස් වසම්වලින් මෙම මාරක අනතුරු වාර්තා වී තිබේ.
පූනෑව, ගල්කන්දේගම ප්‍රදේශයේදී ලොරි රථ දෙකක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් නොරොච්චෝලය ප්‍රදේශයේ පදිංචි 33 සහ 46 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. මේ අතර අම්පාර – සියඹලාණ්ඩුව මාර්ගයේ 08 කණුව බෝක්කුව ආසන්නයේදී යතුරුපැදි දෙකක් සහ ලොරි රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් සියඹලාණ්ඩුව, කන්දඋඩපංගුව ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙකු මියගොස් තිබේ.
මඩකලපුව – ත්‍රිකුණාමලය මාර්ගයේ මයිලම්බාවලි ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් මඩකලපුව ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි කාන්තාවක ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ගාල්ල – කොළඹ මාර්ගයේ බෙන්තොට නගරය ආසන්නයේදී ලොරි රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් මහඉඳුරුව ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇත. මීට අමතරව, කිලිනොච්චිය ඒ 09 මාර්ගයේ උමයාලපුරම් ප්‍රදේශයේදී යතුරුපැදියක් පාලනය කරගත නොහැකිව ගසක ගැටීමෙන් යාපනය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකු ද ජීවිතක්ෂයට පත්ව තිබේ. අදාළ පොලිස් ස්ථාන මඟින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.
















