ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමඟ පැවැති එක්දින තුන්කොන් තරගයක් අතරතුර පිටියේදී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන්, ඉන්දීය යොවුන් පිතිකරු වෛභව් සූර්යවංශිට දැඩි විනය පියවරයන්ට මුහුණ දීමට සිදුවනු ඇතැයි වාර්තා වේ. පසුගිය සඳුදා (ජූනි 15) දඹුල්ලේදී පැවැති මෙම තරගයෙන් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සුපිරි පන්දුවාරයේදී තියුණු ජයග්‍රහණයක් වාර්තා කළ අතර, තරගයෙන් අනතුරුව ක්‍රීඩකයින් ක්‍රීඩාගාරය වෙත යමින් සිටියදී දෙපාර්ශවය අතර මෙම දැඩි බහින්බස්වීම සහ තල්ලු කරගැනීම හටගෙන තිබේ.
‘Sportstar’ වෙබ් අඩවියට අනුව, තරග තීරක ප්‍රදීප් ජයප්‍රකාශ විසින් වෛභව් සූර්යවංශි සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ විෂේන් හැලඹගේ යන ක්‍රීඩකයින්ට ඔවුන්ගේ තරග ගාස්තුවෙන් 50%ක දඩයක් නිර්දේශ කර ඇත. මීට අමතරව, ඉන්දීය ‘ඒ’ කණ්ඩායමේ නායක තිලක් වර්මාට 30%ක දඩයක් සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට 20%ක දඩයක් පැනවීමට ද යෝජනා කර තිබේ. ‘ඒ’ කණ්ඩායම් තරගවලදී තරග තීරකවරයාගේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ අවසන් බලය අදාළ ක්‍රිකට් පාලක මණ්ඩල (BCCI සහ ශ්‍රී ලංකා ක්‍රිකට්) සතු වන අතර, වෛභව් සූර්යවංශි සම්බන්ධයෙන් BCCI ඉදිරියේදී අවසන් තීරණයක් ගැනීමට නියමිතය.
















