දිවයින පුරා පවතින ධාරාණිපාත වර්ෂාපතනය හේතුවෙන් ඇතිව තිබෙන ගංවතුර සහ නායයෑම් අවදානම සලකා බලා දෙහිඕවිට අධ්‍යාපන කලාපයට අයත් පාසල් 06ක් අද (22) දිනයේ වසා දැමීමට කලාප අධ්‍යාපන බලධාරීන් පියවර ගෙන තිබේ. ඒ අනුව රුවන්වැල්ල ප්‍රදේශයේ පාසල් 03ක් සහ දෙහිඕවිට ප්‍රදේශයේ පාසල් 03ක් මෙලෙස වසා දමා සිසුන් ආරක්ෂිතව නිවෙස් වෙත යොමු කිරීමට පියවර ගත් බව දෙහිඕවිට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එච්.එල්. හරිස්චන්ද්‍ර මහතා තහවුරු කළේය.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත්, කලාපයේ සෙසු පාසල් පවත්වාගෙන යාම හෝ තාවකාලිකව නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් සුදුසු තීරණ ගැනීමේ පූර්ණ බලය හා වගකීම අදාළ විදුහල්පතිවරුන් වෙත පවරා ඇති බව ද කලාප අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර, කෑගල්ල දිස්ත්‍රික්කයට ඇද හැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් ප්‍රධාන ගමනාගමන මාර්ගයක් වන කෑගල්ල – අවිස්සාවෙල්ල ප්‍රධාන මාර්ගය දෙහිඕවිට ප්‍රදේශයෙන් මේ වන විට ජලයෙන් යටවී තිබේ. මාර්ගය හරහා ගංවතුර ජලය ගලා යාම හේතුවෙන් එම මාර්ගයේ වාහන ධාවන කටයුතුවලට දැඩි බාධා එල්ල වී ඇති අතර, එම මාර්ගය පරිහරණය කරන රියදුරන් දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස හෝ විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය ඉල්ලා සිටී.














