ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ (SLB) නිලධාරීන් අද රැස්වී ගෙන ඇති දැවැන්ත හා ආන්දෝලනාත්මක තීරණයක් පිළිබඳව තොරතුරු ttv වෙත අනාවරණය වී තිබෙනවා. ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද නව ගැසට් නිවේදනයේ සඳහන් විධිවිධාන මුළුමනින්ම නොසලකා හරිමින්, තම හිතවතුන්ගේ නාමලේඛනයෙන්ම සභාපති සහ ලේකම් ධූර සඳහා පුද්ගලයින් පත් කරගැනීමට අද පැවැති සාකච්ඡාවේදී තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
සංගමයේ ප්‍රධාන නිලධාරීන් ඉල්ලා අස්වී ඇති පසුබිමක, ක්‍රීඩා පනතට සහ අමාත්‍යාංශයේ නව රෙගුලාසිවලට අනුකූලව කටයුතු කරනවා වෙනුවට, පවතින නීතිරීති හා අමාත්‍යවරයාගේ ගැසට් නිවේදනය පවා තඹ දොයිතුවකට මායිම් නොකිරීමට මෙම පාලකයින් තීරණය කර තිබෙනවා.
ප්රජාතන්ත්රවාදී නිලවරණයකින් තොරව සහ රජයේ නීතිමය රාමුව පිටුපසින් යමින්, තමන්ට අවශ්‍ය පරිදි බලය බෙදා ගැනීමට දැරීමට යන මෙම අත්තනෝමතික උත්සාහය හමුවේ මෙරට බැඩ්මින්ටන් ක්‍රීඩාවේ අනාගතය අතිශය අඳුරු තත්ත්වයකට ඇද වැටෙමින් පවතින බවයි ක්‍රීඩා විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.
ක්‍රීඩා අමාත්‍යවරයාගේ ගැසට් පත්‍රය අභියෝගයට ලක් කරමින්, නීති විරෝධී ලෙස බලයේ රැඳී සිටීමට උත්සාහ කරන මෙම නිලධාරීන්ගේ ක්‍රියාකලාපයට එරෙහිව ක්‍රීඩා අමාත්‍යාංශය ගන්නා පියවර කුමක්දැයි ක්‍රීඩා ලෝලීන් සහ බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අවධානයෙන් පසුවෙති.













