ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් (SLIC General) විසින් සිය 2025 වාර්ෂික සම්මාන උළෙල මඟින් විශිෂ්ටතම කාර්යසාධනයක් පෙන්නුම් කළ අලෙවි වෘත්තිකයන් ඇගයීමට ලක් කර ඇත. ‘එක් කණ්ඩායමක්, එක් දැක්මක්’ (One Team, One Vision) යන තේමාව යටතේ පැවති මෙම සම්මාන උළෙල මොනාර්ච් ඉම්පීරියල් හෝටලයේදී අගෝස්තු මස 20 වැනි දින වර්ණවත් අයුරින් පැවැත්විණි.
දිවයින පුරා විසිරී සිටින අලෙවි ක්ෂේත්‍රයේ ප්‍රධානීන් සහ විශිෂ්ට දක්ෂතා දැක්වූ වෘත්තිකයන් 700කට අධික පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූ අතර, එය මෙතෙක් පැවති සම්මාන උත්සව අතරින් වාර්තාගත ඉහළම සහභාගීත්වයක් විය. පසුගිය වසරට සාපේක්ෂව දෙගුණයකටත් වැඩි ජයග්‍රාහකයන් පිරිසක් මෙවර ඇගයීමට ලක් වීම විශේෂත්වයකි. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන්හි සභාපති නුසිත් කුමාරතුංග මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක් වූ අතර, SLIC General හි අධ්‍යක්ෂ මණ්ඩලය, ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය සමීර ධර්මසේන මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
රක්ෂණ උපදේශකවරුන්, අලෙවි විධායක නිලධාරීන්, ශාඛා කළමනාකරුවන්, ප්‍රාදේශීය කළමනාකරුවන් සහ ප්‍රධාන කාර්යාලයේ අලෙවි අංශයේ සාමාජිකයන් විශාල පිරිසක් මෙහිදී විවිධ කාණ්ඩ යටතේ සම්මාන ලැබූහ. ශ්‍රී ලංකාවේ සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ අවිවාදිත වෙළෙඳපොළ ප්‍රමුඛයා ලෙස සමාගමේ අඛණ්ඩ වර්ධනය සහ ස්ථාවරත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා මෙම සාමූහික කැපවීම ඉමහත් දායකත්වයක් ලබා දෙන බව සමාගම පෙන්වා දෙයි.
















