ධීවර ජනතාවගේ ගැටලු විසඳමින් ඔවුන් නගා සිටුවීමට කටයුතු කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බවත්, ලබන මැතිවරණයේදී නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති කිරීමට රටේ සමස්ත ධීවර ජනතාව සූදානමින් සිටින බවත් හිටපු දකුණු පළාත් ධීවර ඇමැති ඩී.වී. රෝහණ උපුල් මහතා පැවසීය.
බළපිටිය ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවති ගාල්ල දිස්ත්‍රික් ‘ඉඳිවර’ ධීවර හමුවේදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.
පසුගිය මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ වෙත ඡන්දය ලබාදුන් පිරිස් පිළිබඳව සඳහන් කරමින් ඩී.වී. උපුල් මහතා පැවසුවේ, එම පිරිස් වෙත වෛර නොකරන බවත්, නමුත් එම පාලනය යටතේ රටේ තත්ත්වය අයහපත් අතට හැරෙමින් පවතින බවත්ය. ඉදිරියේදී සෑම ගමකින්ම ධීවර නායකයන් තෝරා ගනිමින් ධීවර කමිටු පිහිටුවා, ධීවර ජනතාවගේ යෝජනාවලට මුල්තැන දෙන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව ඔහු ප්‍රකාශ කළේය.
ධීවර පවුලක දරුවෙකු ලෙස උසස් අධ්‍යාපනය ලබා නීති උපාධියක් ද හිමි කරගත් බළපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී නීතිවේදී දිනේෂ් භාණුක දයාරත්න මහතා සඳහන් කළේ, 2029 ජනාධිපතිවරණයේදී නාමල් රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවා ධීවර ගැටලු විසඳීමට ධීවර ජනතාව ඒකරාශී කරන බවයි. විශේෂයෙන්ම ගාල්ල, හික්කඩුව සහ අම්බලන්ගොඩ ධීවර වරායවල ධාරිතාව වැඩි කිරීමේ සහ බළපිටිය ධීවර වරාය ඉදිකිරීමේ අවශ්‍යතාව ඔහු පෙන්වා දුන්නේය. එසේම, අපේ මුහුදු සීමාවේ අනවසරයෙන් මසුන් අල්ලන ඉන්දියානු සහ මාලදිවයින් ධීවරයන්ට එරෙහිව දැඩිව කටයුතු කළ යුතු බවද ඔහු අවධාරණය කළේය.
මෙම අවස්ථාව සඳහා ගාල්ල දිස්ත්‍රික් නායක හිටපු රාජ්‍ය ඇමැති මොහාන් පී. ද සිල්වා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉසුරු දොඩංගොඩ සහ ගාල්ල දිස්ත්‍රික් ධීවර සංගමයේ සභාපති උදාර ගාමිණී යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.














