ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ (SLS) ප්‍රමිති සහතික ලකුණ නොමැති මෝටර් රථ සහ යතුරුපැදි හිස්වැසුම් (helmets) ගබඩා කිරීම, ප්‍රදර්ශනය කිරීම, බෙදා හැරීම හෝ අලෙවි කිරීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (CAA) වෙළෙන්දන්ට දැඩි ලෙස දන්වා සිටියි.
අතිවිශේෂ ගැසට් පත්‍රයක් සහ SLS 517 ප්‍රමිතීන්ට අනුව මෙරට නිෂ්පාදනය කරනු ලබන හෝ ආනයනය කරනු ලබන සියලුම හිස්වැසුම් සඳහා මෙම SLS සහතික ලකුණ අනිවාර්ය කර ඇත. වෙළෙන්දන් තම තොග පරීක්ෂා කර අදාළ ප්‍රමිති සලකුණ නොමැති හිස්වැසුම් වහාම විකිණීමෙන් ඉවත් කරගන්නා ලෙසත්, සැපයුම්කරුගේ බිල්පත් සහ ආනයනකරුගේ විස්තර නිවැරදිව පරීක්ෂා කරන ලෙසත් අධිකාරිය උපදෙස් දෙයි.
විදේශීය සහතික (DOT, ECE හෝ ISI) හෝ රේසිං වර්ගයේ හිස්වැසුම් වීම වැනි හේතු දක්වමින් මෙම නීතිවලින් නිදහස් වීමට කිසිදු වෙළෙන්දෙකුට නොහැකි බවත්, නීතිය නොදැන සිටීම නිදහසට කරුණක් ලෙස නොසලකමින් නීති විරෝධී ලෙස හිස්වැසුම් අළෙවි කරන අයට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් අවධාරණය කරයි.














