ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) බස් රථවල ගමන් ගන්නා මගීන් සඳහා බස් ගාස්තු ගෙවීම ඉදිරියේදී කාඩ් පත් මගින් පමණක් සිදුකිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව එහි සභාපති සජීව කනකරත්න මහතා ප්‍රකාශ කළේය.
මෙම නව ක්‍රමවේදය පිළිබඳව අද (16) මාතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ ඉදිරි මාස කිහිපය ඇතුළත ලංගම බස් සේවාව සඳහා මෙම ක්‍රමය හඳුන්වා දෙන බවයි. ඒ හරහා පොදු ප්‍රවාහන සේවය වඩාත් කාර්යක්ෂම සහ විනිවිදභාවයකින් යුතුව පවත්වාගෙන යාම රජයේ අපේක්ෂාව වේ.
ලංගම සේවාව පූර්ණ ඩිජිටල්කරණයකට ලක් කිරීම ඇතුළු පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ සිදු කෙරෙන ප්‍රධාන පරිවර්තනයන් ඉදිරි වසර 3 ඇතුළත ජනතාවට අත්විඳීමට හැකි වනු ඇති බවද සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය. උත්සව සමයෙන් පසු මාතර සිට කොළඹ බලා ගමන් ගන්නා මගීන්ගේ පහසුකම් සොයා බැලීම සඳහා එක් වූ අවස්ථාවේදී ඔහු මෙම අදහස් පළ කළේය.














