පොදු ප්‍රවාහනය මත යැපෙන ලක්ෂ සංඛ්‍යාත මෙරට ජනතාව අද (24) සිට බරපතළ අවදානමකට මුහුණ දී සිටින්නේ දිවයින පුරා ලංගම බස් රථ ධාවනය ඕනෑම මොහොතක සම්පූර්ණයෙන්ම ඇනහිටීමේ තර්ජනයක් මතු වී තිබීම හේතුවෙන්. වසරකට වැඩි කාලයක් තිස්සේ සැපයුම්කරුවන් වෙත ගෙවීමට තිබූ රුපියල් බිලියනයකට ආසන්න අතිවිශාල හිඟ මුදලක් ගෙවීම දිගින් දිගටම පැහැර හැරීම නිසා, මින් ඉදිරියට ලංගමයට ටයර් සැපයීම මේ මස 10 වැනිදා සිට සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට අදාළ සමාගම් තීරණය කර තිබෙනවා. මෙම තීරණයත් සමඟ මේ වන විටත් දිවයින පුරා පිහිටි ලංගම ඩිපෝ රැසක බස් රථ ධාවන කටයුතු දැඩි ලෙස අඩාළ වී ඇති අතර, ඒ පිළිබඳව ප්‍රාදේශීය බලධාරීන් ඉහළ කළමනාකාරීත්වය වෙත ලිඛිතව දැනුම් දී ඇත්තේ ඉතා භයානක පෙරනිමිති පළ කරමිනුයි.
ලියාපදිංචි ටයර් සැපයුම් ආයතන දහයක් පමණ කුරුණෑගල, අනුරාධපුර, හෝමාගම සහ රත්මලාන ඇතුළු ප්‍රදේශ රැසක සිට මේ වන විට සිය සේවාවන් නතර කර ඇත්තේ තවදුරටත් තමන්ට මෙම මූල්‍ය බර දැරිය නොහැකි බව පවසමින්. මුළු ලංගම බස් රථ සංඛ්‍යාවෙන් සියයට 75කට වැඩි ප්‍රමාණයක් ධාවනය වන්නේ සැපයුම්කරුවන් ලබා දෙන මෙම පෙර සවි කළ සහ නැවත පිරවූ ටයර් මත බැවින්, ටයර් නොමැතිව බස් රථ ධාවනය කිරීම යනු මගී ජීවිත අනතුරේ හෙළීමක් බව ඉංජිනේරු කළමනාකරුවන් අවධාරණය කරනවා. ටයර් සැපයූ ආයතන මේ වන විට සිය සේවක වැටුප් පවා ගෙවා ගත නොහැකිව අර්බුදයක සිටින පසුබිමක, වර්තමාන මිල ගණන් යටතේ ණය පදනම මත තවදුරටත් සේවාවන් සැපයිය නොහැකි බව ඔවුන් බලධාරීන්ට දන්වා සිටින්නේ දැඩි කලකිරීමෙන් යුතුවයි.
ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන මෙවැනි දැවැන්ත ආයතනයක් තුළ බිලියනයක හිඟ මුදලක් ගොඩගැසී තිබීම සහ එය නිරාකරණය කිරීමට නිසි පියවර නොගැනීම හේතුවෙන් අවසානයේ පීඩාවට පත්වන්නේ සාමාන්‍ය මගී ජනතාවයි. ඩිපෝ තුළ ටයර් නොමැතිව බස් රථ දිරාපත් වන්නට හැරීම රටේ දේපළ විනාශ කිරීමක් වන අතර, මීට කඩිනම් විසඳුමක් නොලැබුණහොත් ඉදිරි දින කිහිපය තුළ ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන පද්ධතිය සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වීම වැළැක්විය නොහැක. බලධාරීන්ගේ නිද්‍රාශීලී පිළිවෙත නිසා මහ මග අතරමං වීමට සිදුවන ජනතාවට වගකියන්නේ කවුද යන්න දැන් ප්‍රධාන ප්‍රශ්නයක් බවට පත්ව තිබේ.














