ඇමරිකානු මෘදුකාංග සමාගමක් වන පලන්ටිර් ටෙක්නොලොජීස් (Palantir Technologies) සතු ඩොලර් බිලියන 1.1ක කොටස් හිමිකාරිත්වය වහාම විකුණා දමන ලෙස මිනියාපොලිස් (Minneapolis) නුවර ක්‍රියාකාරීන් පිරිසක් ස්විට්සර්ලන්ත මහ බැංකුවෙන් (SNB) ඉල්ලීමක් කර තිබේ. ස්විට්සර්ලන්තයේ බර්න් නුවර අද (24) පැවැති මහ බැංකු රැස්වීමකදී මෙම විරෝධතාව එල්ල වූ අතර, ඇමරිකාවේ ක්‍රියාත්මක වන ආගමන හා විගමන නීති දැඩි කිරීමේ මෙහෙයුම් සඳහා මෙම සමාගමේ තාක්ෂණය භාවිත කිරීම මෙයට හේතුව වී ඇත.
2025 වසර අවසානය වන විට ස්විට්සර්ලන්ත මහ බැංකුව සතුව පලන්ටිර් සමාගමේ කොටස් මිලියන 6.24ක් පැවති බව වාර්තා වේ. මිනියාපොලිස් හි සිදුවන ආගමන විගමන මර්දන කටයුතු සඳහා පලන්ටිර් තාක්ෂණය දායක වන බව පවසමින් විරෝධතාකරුවන් ස්විට්සර්ලන්තය දක්වා ගොස් මෙලෙස බලපෑම් කර තිබේ. කෙසේ වෙතත්, පලන්ටිර් සමාගම පවසන්නේ සිය තාක්ෂණය භාවිත කිරීමේදී මානව හිමිකම් උල්ලංඝනය වීම් වැළැක්වීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවරයන් (Safeguards) අනුගමනය කරන බවයි. ලොව ප්‍රමුඛතම ආයෝජන ආයතනයක් වන ස්විට්සර්ලන්ත මහ බැංකුව මෙවැනි චෝදනා එල්ල වූ සමාගමක ආයෝජනය කිරීම පිළිබඳව ක්‍රියාකාරීන් සිය දැඩි අකමැත්ත පළ කර සිටිති.














