දකුණු අප්‍රිකානු යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ලෝරන්ස් ම්බතා (Lawrence Mbatha) මොස්කව් නුවරදී රුසියානු හමුදා ප්‍රධානීන් හමුවී විශේෂ සාකච්ඡාවක නිරත වී තිබේ. දෙරටේ ගොඩබිම් බලකායන් අතර පවතින හමුදාමය සබඳතා සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීමට මෙම සංචාරයේදී දෙපාර්ශ්වයම එකඟතාවකට පැමිණ ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
තම දෙවන නිල රුසියානු සංචාරයේ නිරත වන ම්බතා මහතා ඇතුළු හමුදා නියෝජිත පිරිස, මොස්කව් නුවර පැවැති ප්‍රධාන සාකච්ඡාවලින් අනතුරුව රුසියානු හමුදා ඇකඩමි සහ ආරක්ෂක ක්ෂේත්‍රයේ නිෂ්පාදන සමාගම් නැරඹීමටද නියමිතය. දෙරටේ හමුදාවල යුධ සූදානම ඉහළ නැංවීමේ අරමුණින් ක්‍රියාත්මක වන ඒකාබද්ධ ව්‍යාපෘති පිළිබඳවද මෙහිදී අවධානය යොමු වී ඇත.
යුක්‍රේන අර්බුදයේදී නොබැඳි පිළිවෙතක් අනුගමනය කරන බව ප්‍රකාශ කළද, BRICS සංවිධානයේ සාමාජිකයෙකු ලෙස දකුණු අප්‍රිකාව රුසියාව සමඟ පවතින සමීප සබඳතා ඉදිරියටම පවත්වාගෙන යයි. රුසියානු ගොඩබිම් බලකායේ නියෝජ්‍ය ප්‍රධානී කර්නල් ජෙනරාල් ඇලෙක්සැන්ඩර් මාටොව්නිකොව් (Alexander Matovnikov) හමුවූ ම්බතා මහතා, මොස්කව් නුවර පිහිටි ‘අඥාත සෙබළ ස්මාරකයට’ (Tomb of the Unknown Soldier) පුෂ්පෝපහාර දැක්වීමටද කටයුතු කළේය.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














