උතුරු කොරියාවේ මින් පෙර තහවුරු නොකළ න්‍යෂ්ටික මධ්‍යස්ථානයක් පිළිබඳව දකුණු කොරියානු අමාත්‍යවරයෙකු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඇමෙරිකානු රජය සිය අසතුට පළ කර ඇති බවට පළවන වාර්තා දකුණු කොරියානු එක්සත් කිරීමේ අමාත්‍යාංශය අද (17) ප්‍රතික්ෂේප කළේය. දකුණු කොරියානු අමාත්‍ය චුන්ග් ඩොන්ග්-යං (Chung Dong-young) විසින් ‘කුසොන්ග්’ (Kusong) ප්‍රදේශයේ පිහිටි න්‍යෂ්ටික පහසුකම් පිළිබඳව ප්‍රසිද්ධියේ අදහස් දැක්වීම නිසා වොෂින්ටනය විසින් බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම සීමා කර ඇති බවට මාධ්‍ය වාර්තා පළ වී තිබුණි.
පසුගිය මාර්තු 6 වැනිදා පාර්ලිමේන්තු කමිටුවක් හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා තිබුණේ ප්‍රකට යොන්ග්බියොන් සහ කැන්ග්සන් මධ්‍යස්ථානවලට අමතරව කුසොන්ග්හි ද යුරේනියම් සාරවත් කිරීමේ මධ්‍යස්ථානයක් පවතින බවයි. මෙය ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) වාර්තා මත පදනම් වූවක් බව දකුණු කොරියාව පවසන නමුත්, එම ඒජන්සියේ ප්‍රකාශවල කුසොන්ග් පිළිබඳව සඳහන්ව නොමැති බව වාර්තා වේ. දකුණු කොරියානු රජය අවධාරණය කරන්නේ තමන් මේ පිළිබඳව ඇමෙරිකානු තානාපති කාර්යාලයට පැහැදිලි කර ඇති බවත්, දෙරට අතර බුද්ධි තොරතුරු හුවමාරුවේ කිසිදු බාධාවක් නොමැති බවත්ය.














