උතුරු කොරියාව දෙසට හමුදා ඩ්‍රෝන යානා යැවීමට නියෝග කිරීම සහ එම සිදුවීම පසුගිය දෙසැම්බරයේ අසාර්ථක වූ හදිසි නීති ප්‍රකාශයට පත් කිරීම සඳහා පෙරනිමිත්තක් ලෙස භාවිත කිරීම යන චෝදනා සම්බන්ධයෙන් හිටපු දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල්ට වසර 30ක සිරදඬුවමක් පැනවීමට සෝල් මධ්‍යම දිස්ත්‍රික් අධිකරණය අද (12) තීරණය කළේය.
අධිකරණය විසින් ඔහු සතුරාට සහය දැක්වීම සහ බලය අයුතු ලෙස භාවිත කිරීම යන චෝදනාවලට වරදකරු කරනු ලැබීය. 2024 ඔක්තෝබර් මාසයේදී පියොංයැන්ග් අගනුවරට ඉහළින් සිදු කළ ඩ්‍රෝන ආක්‍රමණයට ඔහු මුල සිටම කුමන්ත්‍රණය කර ඇති බව අධිකරණ තීන්දුවේ දැක්වේ.
මීට අදාළව නීතිපතිවරුන් විසින් අප්‍රේල් මාසයේදී ඔහුට වසර 30ක සිරදඬුවමක් ඉල්ලා සිටි අතර, යූන් සුක් යෝල්ගේ නීතිඥවරුන් ප්‍රකාශ කර ඇත්තේ මෙම ඩ්‍රෝන මෙහෙයුම හදිසි නීතියට කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, එය උතුරු කොරියාව විසින් දකුණු කොරියාව දෙසට එවන ලද කසළ බැලූන්වලට ලබා දුන් ප්‍රතිචාරයක් පමණක් බවත්ය.
මෙම තීන්දුව යූන් සුක් යෝල්ට එරෙහිව ලැබුණු නවතම නඩු තීන්දුව වේ. ඔහු දැනටමත් හදිසි නීතිය ප්‍රකාශ කිරීම හා සම්බන්ධ කැරලි ගැසීමේ චෝදනාවකට පෙබරවාරි මාසයේදී ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වී සිටින පුද්ගලයෙකි.
ඉම්පීච්මන්ට් ක්‍රියාමාර්ගයකින් පසු පසුගිය වසරේ ධුරයෙන් ඉවත් කෙරුණු හිටපු ජනාධිපතිවරයා මේ වන විටත් රක්ෂිත බන්ධනාගාරගතව සිටින අතර, අද ලැබුණු මෙම පහළ අධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඔහුට හැකියාව ඇත.
















