2026 FIFA ලෝක පාපන්දු කුසලාන තරඟාවලිය සජීවීව නැරඹීම සඳහා වන නිල පාපන්දු ප්‍රේක්ෂක කලාපය (FIFA World Cup Fan Zone 2026), විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) කොළඹ, යෝර්ක් වීදියේදී නිල වශයෙන් විවෘත කෙරිණි.
සමාරම්භක උත්සවයේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මට්ටමේ පාපන්දු ක්‍රීඩාංගනයක් ඉදිකිරීම සඳහා ප්‍රතිපාදන සහාය ලබාදීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) එකඟ වී ඇති බවයි. පසුගිය වසරේ FIFA උප සභාපතිවරයා මෙරට කළ සංචාරයේදී ඇති කරගත් එකඟතාවයකට අනුව, මීගමුව කඩොල්කැලේ ක්‍රීඩාංගන භූමිය ඒ සඳහා තෝරාගෙන ඇති අතර, එහි මූලික නෛතික කටයුතු මේ වන විටත් ආරම්භ වී ඇත. මෙම ව්‍යාපෘතිය හරහා අනාගතයේදී ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පාපන්දු තරඟාවලි සඳහා සත්කාරකත්වය දැරීමට අවස්ථාව හිමි වන අතර, එය මීගමුව ආශ්‍රිත ක්‍රීඩා සංචාරක ක්ෂේත්‍රයේ දියුණුවට මහත් පිටුවහලක් වනු ඇත.
ක්‍රීඩා සංචාරක ක්ෂේත්‍රය පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, ක්‍රිකට් ක්‍රීඩාව මෙන්ම පාපන්දු ක්‍රීඩාවද ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීමෙන් මෙරට ක්‍රීඩා සංචාරක ක්ෂේත්‍රය සීඝ්‍රයෙන් දියුණු කළ හැකි බවයි. ගෝලීය අර්බුද මධ්‍යයේ වුවද, ශ්‍රී ලංකාවේ පවතින ආගන්තුක සත්කාරය සහ උරුමයන් හේතුවෙන් සංචාරක ආකර්ෂණය ඉහළ ගොස් ඇති බවත්, පසුගිය මැයි 31 වන විට සංචාරකයින් මිලියනයක් මෙරටට පැමිණ ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
උත්සවය පැවැත්වෙන 1837 වසරේ ඉතිහාසයකට උරුමකම් කියන ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය ජාත්‍යන්තර උරුමයක් ලෙස හඳුන්වා දුන් අමාත්‍යවරයා, ලංකා බැංකුව සතු මෙම ඓතිහාසික හෝටලය නවීන තත්ත්වයට ගැලපෙන සේ වැඩිදියුණු කිරීම සඳහා දැනටමත් අමාත්‍ය මණ්ඩල තීරණයක් ගෙන ඇති බව වැඩිදුරටත් සඳහන් කළේය.
පාපන්දු ලෝලීන් සඳහා ඉදිරි දිනවලදී විවෘතව පවතින මෙම ‘Fan Zone’ පරිශ්‍රය වෙත පැමිණ ලෝක කුසලාන තරඟ සජීවීව නරඹමින් මානසික සැහැල්ලුවක් ලබාගන්නා ලෙස අමාත්‍යවරයා සියලුම පාපන්දු ලෝලීන්ට ආරාධනයක් කළේය.
















