ලොව පුරා විසිරී ඇති රාජ්‍ය ස්වෛරී අරමුදල් (Sovereign wealth funds) ආයෝජන ප්‍රතිලාභවලට පමණක් සීමා නොවී, යටිතල පහසුකම් සහ දේශීය කර්මාන්ත වැනි උපායමාර්ගික ජාතික ප්‍රමුඛතා වෙත වැඩි අවධානයක් යොමු කිරීමට පටන් ගෙන ඇති බව ස්පාඤ්ඤයේ IE විශ්වවිද්‍යාලය විසින් නිකුත් කළ නවතම අධ්‍යයනයකින් හෙළි වේ.
ට්‍රිලියන 15කට අධික වත්කම් ප්‍රමාණයක් කළමනාකරණය කරන මෙම අරමුදල්, කෘත්‍රිම බුද්ධිය (AI) සහ අර්ධ සන්නායක (semiconductors) වැනි අංශ උපායමාර්ගික වත්කම් ලෙස සලකමින් ඒවායේ ආයෝජනය කිරීමට වැඩි උනන්දුවක් දක්වයි.
මෙම අධ්‍යයනයේ දැක්වෙන ප්‍රධාන කරුණු කිහිපයක් පහත දැක්වේ:
පසුගිය වසර 18ක කාලය තුළ සිදු වූ ආයෝජනවලින් තුනෙන් එකක්ම කෘත්‍රිම බුද්ධිය ආශ්‍රිත ව්‍යාපෘති සඳහා වැය කර ඇත. OpenAI, Stargate සහ Databricks වැනි සමාගම් වෙත රාජ්‍ය ස්වෛරී අරමුදල්වලින් විශාල වශයෙන් ප්‍රාග්ධනය ලැබී තිබේ.
ඍජු ආයෝජන ගනුදෙනු සංඛ්‍යාව 17%කින් පහළ ගියද, ආයෝජනය කරන ලද මුළු මුදල 91%කින් ඉහළ ගොස් ඩොලර් බිලියන 404ක් දක්වා වර්ධනය වී ඇත. මෙයින් පෙනී යන්නේ අරමුදල් වඩාත් විශාල ව්‍යාපෘති වෙත යොමු වී ඇති බවයි.
ඇමරිකා එක්සත් ජනපදය වෙත ඩොලර් බිලියන 220.4ක විශාලතම ආයෝජන ප්‍රමාණයක් ලැබී ඇත. ගල්ෆ් කලාපයේ රටවල් සහ නෝර්වේ රාජ්‍යය විශාල වශයෙන් වියදම් කරන අතර, ගනුදෙනු පරිමාව අනුව සිංගප්පූරුවේ ටෙමාසෙක් (Temasek) ආයතනය පෙරමුණ ගෙන ඇත.
අයර්ලන්තය, බ්‍රිතාන්‍යය, බොට්ස්වානා සහ ස්පාඤ්ඤය වැනි රටවලින් අලුතින් අරමුදල් 12ක් බිහි වී තිබේ. රාජ්‍ය ප්‍රාග්ධනය උපයෝගී කරගනිමින් උපායමාර්ගික ආයෝජන දියත් කිරීම සහ ගෝලීය වශයෙන් බලපෑම් පුළුල් කරගැනීම මෙම නව ප්‍රවණතාවයි.
සීතල යුද්ධයෙන් පසු කිසිදු කාලයක නොතිබූ අයුරින් වෙළෙඳපොළ නොවන සාධක (non-market factors) වර්තමානයේ ආර්ථික තීරණ කෙරෙහි බලපෑම් කරන බවත්, ලෝකය මේ වන විට නව දෘෂ්ටිවාදයකට අවතීර්ණ වෙමින් පවතින බවත් පර්යේෂණ වාර්තාවේ කර්තෘ ජේවියර් කැපාපේ මහතා පවසයි.
















