බලශක්ති පිරිවැය හදිසියේ ඉහළ යාම හේතුවෙන් ස්පාඤ්ඤයේ කාර්මික මිල ගණන් (Industrial Prices) මාර්තු මාසයේදී වසරකින් පසු වේගවත්ම වර්ධනය වාර්තා කර ඇති බව එරට ජාතික සංඛ්‍යාලේඛන ආයතනය (INE) අද (24) ප්‍රකාශ කළේය. මාස හතරක් පුරා අඛණ්ඩව පහත වැටුණු කාර්මික මිල ගණන්, මාර්තු මාසයෙන් අවසන් වූ මාස 12ක කාලය තුළ සියයට 3.4ක වර්ධනයක් පෙන්වා තිබේ. පෙබරවාරි මාසයේදී සියයට 6.9ක පහත වැටීමක් වාර්තා වී තිබූ පසුබිමක මෙය විශාල වෙනසකි.
මෙම මිල ඉහළ යාමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ බලශක්ති මිල සියයට 7.9කින් ඉහළ යාමයි. විශේෂයෙන්ම මැදපෙරදිග යුදමය වාතාවරණය හමුවේ බොරතෙල් මිල සියයට 45කින් පමණ ඉහළ යාම නිසා ඉන්ධන පිරිපහදු මිල ගණන් සියයට 46.3ක දැවැන්ත වර්ධනයක් පෙන්නුම් කර ඇත. මීට අමතරව විදුලි බෙදාහැරීමේ සහ ගෑස් මිල ගණන් ද ඉහළ ගොස් තිබේ. කාර්මික නිෂ්පාදන පිරිවැය ඉහළ යාම සාමාන්‍යයෙන් පාරිභෝගික භාණ්ඩ මිල ඉහළ යාමට (උද්ධමනයට) මඟ පාදන්නේ සමාගම් සිය අතිරේක පිරිවැය පාරිභෝගිකයා මත පැටවීමට උත්සාහ කරන බැවිනි.














